ගෝතමාලාවේ පිහිටි ෆුඑගෝ ගිනි කන්ද හදිසියේම සක්රීය වීම නිසා මේ වන විට එම ප්රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. සඳුදා දිනයේ සිටම මෙම ගිනි කන්දෙන් ලාවා සහ අළු පිටවීම ආරම්භ වුණා. ගිනි කන්දේ බෑවුම්වල ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ගිනිකඳු අළු සහ ගල් කැබලි මිශ්රිත උණුසුම් වායු ධාරා කන්දේ අග්නිදිග දෙසට ගලා ඒම නිසා අවට ගම්මානවල ජනතාවට දැඩි අවදානමක් මතුවෙලා තියෙනවා.
ආපදා කළමනාකරණ ඒජන්සිය විසින් මේ වන විට රට පුරා දෙවන ඉහළම අනතුරු ඇඟවීම වන ‘තැඹිලි’ වර්ණ සංඥාව නිකුත් කරලා තියෙනවා. ගිනි කන්ද ආසන්නයේ තිබෙන පාසල් වසා දැමීමටත්, ජනතාවට තම නිවෙස්වල දොර ජනෙල් වසාගෙන ආරක්ෂිතව සිටින ලෙසත් උපදෙස් දීලා තියෙනවා. සංචාරකයන් අතර ඉතා ජනප්රිය නගරයක් වන ඇන්ටිගුවා නගරයට කිලෝමීටර් 16ක් පමණක් දුරින් මෙම ගිනි කන්ද පිහිටා තිබීම නිසා සංචාරකයන්ටත් දැඩි අවදානමක් පවතිනවා. ඒ නිසා කඳු බෑවුම්වලට යාමෙන් වළකින ලෙස බලධාරීන් නැවත නැවතත් අනතුරු අඟවනවා.
මීට පෙර 2018 වසරේදී ෆුඑගෝ ගිනි කන්ද පුපුරා යාමෙන් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. එම අමිහිරි අත්දැකීම නිසා මෙවර බලධාරීන් ඉතා දැඩි අවධානයකින් කටයුතු කරනවා. ගිනි කන්දෙන් පිටවන අළු සහ ලාවා ධාරා තවදුරටත් පැතිර යා හැකි නිසා ජනතාවට ඉතා කල්පනාකාරීව සිටින ලෙසයි බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Discussion & Feedback