ප්‍රසිද්ධ ආහාර බෙදාහැරීමේ සේවාවක් වන Grubhub සමාගම විසින් සිදුකළ නොමඟ යවන සුළු ක්‍රියාකාරකම් හේතුවෙන්, පාරිභෝගිකයින් සහ රියදුරන් 640,000කට අධික පිරිසකට ඇමරිකානු ඩොලර් මිලියන 23.8ක වන්දියක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඇමරිකාවේ ෆෙඩරල් වෙළඳ කොමිෂන් සභාව (FTC) සහ ඉලිනොයිස් ප්‍රාන්තයේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවකින් පසුවයි මෙම තීරණය ලැබී ඇත්තේ. රියදුරන්ට ලැබෙන ආදායම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබා දීම, පාරිභෝගිකයින්ගේ ගිණුම් අවහිර කිරීම සහ අවසරයකින් තොරව අවන්හල් තම වේදිකාවට ඇතුළත් කිරීම වැනි බරපතල චෝදනා රැසක් සමාගමට එල්ල වී තිබුණා.
මෙම නඩුවට අනුව, Grubhub සමාගම තම වේදිකාව විශාල බව පෙන්වීමට අවන්හල් 325,000ක් පමණ ඔවුන්ගේ අවසරයකින් තොරව ලැයිස්තුගත කර තිබූ බව හෙළි වුණා. ඇතැම් අවන්හල් ඉවත් වීමට ඉල්ලා සිටියත්, සමාගම ඒවා ඉවත් නොකර මුදල් ගෙවා හවුල්කාරිත්වයකට එළඹෙන ලෙස බලපෑම් කර තිබෙනවා. මේ නිසා, ඉදිරියේදී රියදුරන්ගේ ආදායම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීමටත්, අවන්හල්වල අවසරය ලබා ගැනීමටත්, පාරිභෝගිකයින්ට තම ගිණුම් සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට පහසුකම් සැලසීමටත් සමාගමට නියෝග කර තිබෙනවා.
බොහෝ පාරිභෝගිකයින්ට සහ රියදුරන්ට මෙම වන්දි මුදල් චෙක්පත් මගින් තැපෑලෙන් ලැබෙන අතර, සමහරුන්ට PayPal හරහා මුදල් ලැබෙනු ඇති. මීට මාසයකට පෙරත් කැලිෆෝනියාවේ රියදුරන් වෙනුවෙන් තවත් මිලියන 25ක වන්දියක් ගෙවීමට සමාගමට සිදුවුණා. මේ ආකාරයට ආහාර බෙදාහැරීමේ සමාගම්වල අක්‍රමිකතා පිළිබඳව මේ දිනවල ලෝකය පුරාම දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

Discussion & Feedback