දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට ආසන්න ප්‍රදේශයකින් පසුගිය දින කිහිපය තුළ පමණක් කාන්තාවන්ගේ මළ සිරුරු කිහිපයක්ම හමුවීමත් සමඟ මුළු රටම දැඩි කම්පනයකට පත්වෙලා. මීට දින කිහිපයකට පෙර අතුරුදහන් වූ 38 හැවිරිදි දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඩිනියෝ මොටාපනේගේ සිරුර අමානුෂික ලෙස පහර දී පුළුස්සා දමා තිබියදී සොයාගැනීම බොහෝ දෙනාගේ හදවත් කම්පා කරවන්නක්. ඇගේ නැන්දා වන නොක්වාන්ඩා පවසන්නේ, දරුවන්ට තම මවගේ අකල් මරණය ගැන පවසන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවයි. ජූලි මාසයේ සිට මේ දක්වා පමණක් එම ප්‍රදේශයෙන් මෙවැනි අමානුෂික ලෙස ඝාතනය කරන ලද කාන්තාවන් නව දෙනෙකුගේ සිරුරු හමුවී තිබීම තත්ත්වයේ බරපතලකම පෙන්වා දෙනවා.
මේ වන විට දකුණු අප්‍රිකාවේ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය ලෝකයේ ඉහළම මට්ටමක පවතින බවයි වාර්තා වෙන්නේ. මානව හිමිකම් කොමිසමේ දත්තවලට අනුව දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් හය දෙනෙකු පමණ ඝාතනයට ලක්වෙනවා. නමුත් මේ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් අයෙකු පමණක් වීම ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙලා. රජය විසින් කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය ජාතික ව්‍යසනයක් ලෙස නම් කළත්, තවමත් කාන්තාවන්ගේ ජීවිතවලට පවතින තර්ජනය අවසන් වී නැහැ. මේ අමානුෂික ඝාතන රැල්ල නතර කිරීමට බලධාරීන් කඩිනමින් පියවර ගත යුතු බවට මේ වන විටත් රට පුරා හඬක් නැගෙමින් පවතිනවා.

Discussion & Feedback