ග්‍රීසියේ සකින්තෝස් ගුවන් තොටුපළට අද දින හදිසියේ ගොඩබෑ හෙලනික් ගුවන් හමුදාවට අයත් F-16 වර්ගයේ යුද ගුවන් යානයක් ගිනි ගැනීම නිසා විශාල කලබලකාරී තත්ත්වයක් ඇති වුණා. පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටියදී යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදු කර තිබෙනවා. වාසනාවකට මෙන්, යානයේ සිටි නියමුවා කිසිදු අනතුරකින් තොරව ආරක්ෂිතව ඉන් පිටතට පැමිණීමට සමත් වී තිබෙනවා. ගුවන් යානය ගොඩබෑමේදී එහි රෝද ක්‍රියාත්මක නොවූ නිසා එය ධාවන පථය දිගේ මීටර් ගණනාවක් ලිස්සා ගොස් ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම අනතුර නිසා ග්‍රීසියේ සංචාරක සමය උදාවී ඇති මොහොතක ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගත්තා. මේ හේතුවෙන් දහස් ගණනක් සංචාරකයින් ගුවන් තොටුපළ තුළ දැඩි අපහසුතාවයට පත් වුණා. ගිනි නිවන භටයින් සහ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීමට කටයුතු කළ අතර, මේ වන විට විශේෂඥ කණ්ඩායමක් යානය ධාවන පථයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. සිද්ධියට හේතුව සොයා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ගුවන් තොටුපළේ සාමාන්‍ය කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බවයි බලධාරීන් පවසන්නේ.

Discussion & Feedback