ආබාධ සහිත සිසුන්ට සමාන අවස්ථා සහ ගෞරවනීය අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා. විශේෂයෙන්ම ආබාධ සහිත සිසුන්ට පහසුවෙන් භාවිතා කළ හැකි අංගයන්ගෙන් සමන්විත විශ්වවිද්‍යාල නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙනවා. එමගින් සිසුන් 16,000කට පමණ සෙත සැලසෙන අතර, පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා අවශ්‍ය ඩිජිටල් සහ අනෙකුත් උපකරණ ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ද මේ වන විට ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.
මෙම සිසුන් ආර්ථික වශයෙන් ස්වාධීන කිරීම සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් සහ රැකියා අවස්ථා පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් මට්ටමේ සිටම වෘත්තීය අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ අවස්ථාව ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි. මීට අමතරව, ජනාධිපති අරමුදලේ ‘සරුසවි දිරිය අභිමාන්’ වැඩසටහනේ තෙවන අදියර යටතේ නැගෙනහිර සහ දකුණු නැගෙනහිර විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ආබාධ සහිත සිසුන් 50 දෙනෙකුට සහතිකපත් සහ රුපියල් ලක්ෂයක මුදල් ආධාර පිරිනැමීම ද මෙහිදී සිදු වුණා. සැමට සමාන අවස්ථා හිමි අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම රජයේ ජාතික ප්‍රතිපත්තියක් බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් ඇය අවධාරණය කළා.

Discussion & Feedback