ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට නිවැරදි මාවතක ගමන් කරන බවට හොඳම සාක්ෂියක් විදිහට S&P ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් නිකුත් කරපු නවතම වාර්තාව හඳුන්වන්න පුළුවන්. පසුගිය කාලේ ඇතිවුණු ‘ඩිට්වා’ සුළි කුණාටුව සහ මැදපෙරදිග ගැටුම් වගේ බාහිර අභියෝග රැසක් තිබුණත්, රජය ගෙන ගිය ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ ණය ශ්‍රේණිගත කිරීම් අඛණ්ඩව පවත්වාගෙන යන්න අපිට හැකි වුණා. විශේෂයෙන්ම 2022 වසරේ ‘CCC’ මට්ටමේ තිබුණු අපේ ශ්‍රේණිගත කිරීම, 2025 දී ‘CCC+’ දක්වාත්, මේ වසරේදී ‘B-‘ දක්වාත් ඉහළ යාම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවට පැහැදිලි සාක්ෂියක්.
මේ දියුණුව ලැබුණේ ආනයන සීමා කිරීම් හෝ ආර්ථික ක්‍රියාකාරකම් යටපත් කිරීම් හරහා නෙවෙයි. මහ බැංකුවේ උපායමාර්ගික මැදිහත්වීම් සහ විනිවිදභාවයෙන් යුත් ණය කළමනාකරණය නිසා විදේශ විනිමය සංචිත ශක්තිමත් කරගන්න අපිට පුළුවන් වුණා. ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා ණය වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීමත් මෙහිදී ලොකු පිටුවහලක් වුණා. පසුගිය වසරට සාපේක්ෂව ආයෝජක විශ්වාසය සහ ණය විනිවිදභාවය අතින් ලකුණු 43.67ක් ලබාගෙන ලෝකයේ රටවල් අතර සිව්වැනි ස්ථානයට පත්වෙන්න ශ්‍රී ලංකාවට හැකිවීම ඇත්තටම සතුටු විය යුතු කාරණයක්. මේ ගමන මේ විදිහටම ඉදිරියටත් පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් රටේ ආර්ථිකය තවත් ශක්තිමත් වෙන එක නියතයි.

Discussion & Feedback