රත්නපුර නගරය ලෝකයේ ප්‍රධානතම මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ රත්නපුරයේ පැවැත්වෙන ‘Gem City Ratnapura 2026’ ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. දේශීය මැණික් පමණක් නොව, පිටරටින් ගෙන්වන මැණික්වලටත් අගය එකතු කර ලෝක වෙළෙඳපොළට යැවීම හරහා වාර්ෂිකව ඩොලර් බිලියන දෙකක ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කයයි.
මෙම ප්‍රදර්ශනය සඳහා ඇමරිකාව, චීනය, ජපානය සහ තායිලන්තය වැනි රටවල් රැසක ආයෝජකයන් සහ ගැනුම්කරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටිනවා. මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ පරිසරය සුරකිමින් කාන්තාවන්ගේ දායකත්වයත් සමඟ මෙම කර්මාන්තය දියුණු කළ යුතු බවයි. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ මැණික් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමට අපේ තානාපති කාර්යාල හරහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය සමඟ මැණික් කර්මාන්තය සම්බන්ධ කරමින් විදේශ ආයෝජන ගෙන්වා ගැනීමටත්, දේශීය ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර අවස්ථා උදා කර දීමටත් රජය බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback