ලෝක ප්‍රකට තාක්ෂණික දැවැන්තයෙක් වන ගූගල් සමාගම මේ දිනවල දැඩි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒ ඔවුන්ගේ ‘Gemini’ නමැති කෘත්‍රිම බුද්ධි (AI) පද්ධතිය පුහුණු කිරීම සඳහා ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ ප්‍රකාශන හිමිකම සහිත නිර්මාණ අවසරයකින් තොරව භාවිතා කළා කියන චෝදනාව මතයි. Hachette, Cengage සහ Elsevier වැනි ප්‍රධාන පෙළේ ආයතන සහ ලේඛකයන් පිරිසක් එකතු වෙලා මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. ගූගල් සමාගම මේ නිර්මාණවල තිබුණු ප්‍රකාශන හිමිකම් තොරතුරු පවා හිතාමතාම ඉවත් කරලා තියෙනවා කියලා ඔවුන් චෝදනා කරනවා. විශේෂයෙන්ම ගූගල් බුක්ස් හරහා පොත් සෙවීමේ පහසුකම සඳහා ලබා දුන් දත්ත, ඔවුන්ගේ අවසරයකින් තොරව AI පුහුණුවට යොදා ගැනීම මෙහිදී ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙනවා.
මේ සිදුවීමත් එක්කම ගූගල් සමාගම ඇතුළේ තිබුණු අභ්‍යන්තර ලේඛනයකුත් එළියට ඇවිත් තියෙනවා. ඒකේ සඳහන් වෙලා තියෙන්නේ ප්‍රකාශන හිමිකම් සහිත පොත් මේ විදියට AI පුහුණුවට යොදා ගැනීම ගූගල් සමාගමට ඉදිරියේදී බිලියන ගණනක දඩ මුදල් ගෙවන්න සිද්ධ වෙන ලොකු අවදානමක් කියලා. දැනටමත් ඇමරිකාවේ විවිධ අධිකරණවල මේ වගේ නඩු කිහිපයක්ම විභාග වෙනවා. සමහර තැන්වලදී AI සමාගම්වලට වාසිදායක තීන්දු ලැබුණත්, තවත් තැන්වලදී දැවැන්ත දඩ මුදල් ගෙවන්නත් සිද්ධ වෙලා තියෙනවා. කොහොම වුණත්, මේ නඩුවෙන් ගූගල් සමාගමට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙන බව නම් පැහැදිලියි. තාමත් ගූගල් සමාගම මේ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිම දෙයක් කියලා නැහැ.

Discussion & Feedback