අනාගතයේ ලෝකයට අවශ්‍ය පිරිසිදු බලශක්තිය ලබාගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි න්‍යෂ්ටික විලයනය (Fusion Power). හැබැයි මේ තාක්ෂණය ප්‍රායෝගිකව විදුලිබල පද්ධතියට එකතු කරන්න තියෙන ලොකුම බාධාව තමයි රියැක්ටර් පාලනය කිරීමේ සංකීර්ණත්වය. මේ ගැටලුවට විසඳුමක් විදිහට ගූගල් ඩීප්-මයින්ඩ් (Google DeepMind) ආයතනයේ හිටපු ප්‍රවීණයන් දෙදෙනෙක් වන ෆෙඩරිකෝ ෆෙලිසි සහ ජෝනාස් බුක්ලි එකතු වෙලා ‘ෆියුෂනලිටි’ (Fusionality) නමින් නවතම ස්ටාට්-අප් සමාගමක් ආරම්භ කරලා තියෙනවා. ඔවුන් මේ වන විටත් ඩොලර් මිලියන 3.7ක මූලික ආයෝජනයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
සාමාන්‍යයෙන් විලයන බලාගාරවල පාලන පද්ධති එකිනෙකට වෙනස් වුණත්, ඒ පද්ධතිවල මූලික භෞතික විද්‍යාත්මක කරුණු 80%ක්ම සමානයි. ෆියුෂනලිටි සමාගම කරන්නේ මේ පොදු කරුණු පදනම් කරගෙන රියැක්ටර් පාලනය සඳහා අවශ්‍ය මෘදුකාංග සහ දෘඩාංග කට්ටල නිර්මාණය කිරීමයි. මේ හරහා විලයන තාක්ෂණයේ නියැලෙන අනෙකුත් සමාගම්වලට තමන්ගේ පද්ධති ඉතා වේගයෙන් සහ කාර්යක්ෂමව ගොඩනඟන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම චුම්බක මගින් ප්ලාස්මා පාලනය කරන ක්‍රමවේද සඳහා ඔවුන් වැඩි අවධානයක් යොමු කරනවා.
කෘත්‍රිම බුද්ධිය (AI) මේ පද්ධතිවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කළත්, මුළු රියැක්ටරයම පාලනය කරන්න AI පමණක් ප්‍රමාණවත් නැහැ කියලයි මේ නිර්මාතෘවරුන් කියන්නේ. ඒ නිසා ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ පවතින පද්ධති තවදුරටත් ප්රශස්ත කිරීම සහ දියුණු කිරීමයි. ලෙගෝ බ්ලොක් එකක් වගේ කොටස් වශයෙන් මේ තාක්ෂණය ගොඩනඟන ඔවුන්, අනාගතයේදී ලෝකයේ බලශක්ති අර්බුදයට විසඳුමක් විදිහට න්‍යෂ්ටික විලයනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න විශාල දායකත්වයක් ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback