ලෝකයේ සිව්වන ධනවත්ම පුද්ගලයා වන ගූගල් සම-නිර්මාතෘ සර්ජි බ්‍රින්, කැලිෆෝනියාවේ යෝජිත බිලියනපතියන්ගේ බදු පනත පරාජය කිරීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 20ක් පරිත්‍යාග කර තිබෙනවා. මේ වන විට ඔහු මෙම බදු ගෙවීමෙන් බේරීම සඳහා පමණක් වැය කර ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්. කැලිෆෝනියාවේ ප්‍රෝප් 40 (Prop 40) ලෙස හැඳින්වෙන මෙම පනත මගින් ප්‍රාන්තයේ වෙසෙන බිලියනපතියන් 200 දෙනෙකුගේ ශුද්ධ වත්කම් මත 5%ක තනි වරක් බද්දක් අය කිරීමට නියමිතයි. මෙම මුදල් ප්‍රධාන වශයෙන් ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා වැඩසටහන් සඳහා යෙදවීමට සැලසුම් කර තිබුණත්, බ්‍රින් වැනි තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්තයන් එයට දැඩි ලෙස විරුද්ධ වී තිබෙනවා.
මේ අතර, මාර්ක් සකර්බර්ග් සහ ලැරී පේජ් වැනි ප්රකෝටිපතියන් දැනටමත් කැලිෆෝනියාවෙන් ඉවත් වී වෙනත් ප්‍රාන්තවල පදිංචියට ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, එන්වීඩියා (Nvidia) සමාගමේ සම-නිර්මාතෘ ජෙන්සන් හුවාං පවසන්නේ තමන්ට මෙම බද්ද ගෙවීමට කිසිදු ගැටලුවක් නොමැති බවයි. තමන් සිලිකන් වැලියුහි ජීවත් වීමට තෝරාගත් නිසා එහි නීතිවලට අනුව බදු ගෙවීමට තමන් සූදානම් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් මෙම බිලියනපතියන් ප්‍රාන්තයෙන් පිටව යාම ආර්ථිකයට බලපාන බව පවසමින් ජාතික මට්ටමේ බිලියනපතියන්ගේ බද්දක් හඳුන්වා දිය යුතු බවට යෝජනා කරනවා. නොවැම්බර් මාසයේදී කැලිෆෝනියා වැසියන් මෙම තීරණාත්මක බදු පනත සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.

Discussion & Feedback