හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට පෙර ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමත් සමඟ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වුණු උන්වහන්සේගේ නවතම කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ, තමන් නීතියට ගරු කරන බවත්, නමුත් සිදුවූ පරිපාලනමය දෝෂයන් වෙනුවෙන් තමන් දඬුවම් විඳිය යුතුද යන්න ගැටලුවක් බවත්ය. තමන් කිසිදු දේශපාලනඥයෙකුගේ අනුගාමිකයෙක් නොවන බවත්, තමන් බුදුන් වහන්සේගේ අනුගාමිකයෙක් පමණක් බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළා.
තමන්ගේ ඉදිරි ඉරණම පිළිබඳව අවිනිශ්චිත බව පවසන ඥානසාර හිමියන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් තමන්ට යළිත් ජනාධිපති සමාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ සඳහා මැදිහත් වන ලෙස උන්වහන්සේ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින අතර, තමන්ගේ 87 හැවිරිදි මව ගැන සිහිපත් කරමින් ඉතා සංවේදී අදහස් කිහිපයක්ද ප්‍රකාශ කළා. නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් තමන්ට යළිත් මව දැකගැනීමට අවස්ථාවක් ලැබේවිද යන්න ගැන උන්වහන්සේ තුළ ඇත්තේ අවිනිශ්චිත බවක්. කෙසේ වෙතත්, තමන් ඕනෑම නීතිමය තීරණයකට හිස නමන බවත්, තමන් කළ වැරදි සඳහා සමාව අයදින බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback