අභ්යවකාශයේ තියෙන අපූරු දේවල් ගැන හොයන අයට අලුත්ම ආරංචියක් නාසා ආයතනයෙන් ලැබිලා තියෙනවා. ඒ තමයි NGC 4258 හෙවත් Messier 106 කියලා හඳුන්වන සර්පිලාකාර මන්දාකිණියක අලුත්ම ඡායාරූපයක්. පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ මිලියන 24ක් ඈතින් තියෙන මේ මන්දාකිණිය සාමාන්ය මන්දාකිණිවලට වඩා වෙනස් වෙන්නේ ඒකේ තියෙන අසාමාන්ය අමතර දෑත් යුගලක් නිසයි. සාමාන්යයෙන් සර්පිලාකාර මන්දාකිණිවල තියෙන්නේ දෑත් දෙකක් විතර වුණාට, මේ මන්දාකිණියේ දෑත් හතරක්ම තියෙනවා. මේ අමතර දෑත් හැදිලා තියෙන්නේ මන්දාකිණියේ මධ්යයේ තියෙන දැවැන්තම කළු කුහරයකින් පිටවෙන උණුසුම් වායු නිසා කියලා විද්යාඥයන් කියනවා.
මේ අපූරු දසුන නිර්මාණය කරන්න නාසා ආයතනය තමන්ගේ ප්රධාන දුරේක්ෂ තුනක් එකතු කරගෙන තියෙනවා. චන්ද්රා එක්ස්-රේ දුරේක්ෂය, හබල් අභ්යවකාශ දුරේක්ෂය සහ ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය එකතු වෙලා තමයි මේ විවිධ ආලෝක තරංග භාවිතයෙන් මේ වගේ පැහැදිලි රූපයක් ලබාගෙන තියෙන්නේ. මේ මගින් කළු කුහරයකට කොයිතරම් බලයක් තියෙනවද කියන එකත්, ඒ වගේම මන්දාකිණියක පරිණාමය වෙන්න මේවා කොහොමද බලපාන්නේ කියන එකත් අපිට පැහැදිලිව බලාගන්න පුළුවන්. නාසා ආයතනය මෑතකදී නිකුත් කරපු ‘ගැලැක්ටික් ජෙම්ස්’ හෙවත් මන්දාකිණි මැණික් 16 අතරින් මේක හරිම විශේෂ එකක් විදිහට තමයි සැලකෙන්නේ.

Discussion & Feedback