හොලිවුඩයේ ජනප්රිය නළු ග්ලෙන් පවෙල් සහ ප්රවීණ අධ්යක්ෂක රිචඩ් ලින්ක්ලේටර් නැවත වරක් අලුත්ම සිනමා නිර්මාණයකට අත්වැල් බැඳගන්නට සූදානම් වෙනවා. මෙවර ඔවුන් තෝරාගෙන තිබෙන්නේ බේස්බෝල් ක්රීඩාවේ අමරණීය නාමයක් වන ලූ ගෙරිග්ගේ ජීවිත කතාවයි. යුනිවර්සල් ස්ටූඩියෝස් හරහා නිෂ්පාදනය කෙරෙන මෙම චිත්රපටයේ ලූ ගෙරිග්ගේ චරිතයට පණ පොවන්නේ ග්ලෙන් පවෙල් විසින්. ‘අයන් හෝස්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ගෙරිග්, බේස්බෝල් ඉතිහාසයේ අතිශය දක්ෂ ක්රීඩකයෙක් වගේම, අදටත් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්ර වන චරිතයක්.
මෙම චිත්රපටයේ තිර රචනය සයිමන් රිච් විසින් සිදුකරන අතර, ලෝන් මයිකල්ස් ඇතුළු පිරිසක් නිෂ්පාදනයෙන් දායක වෙනවා. ගෙරිග්ගේ ක්රීඩා දිවිය සහ ඔහු මුහුණ දුන් අවාසනාවන්ත රෝගී තත්ත්වය වටා මෙම කතාව ගෙතෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. 1942 වසරේදී ‘ප්රයිඩ් ඔෆ් ද යැන්කීස්’ චිත්රපටයෙන් පසුව ලූ ගෙරිග් ගැන නිර්මාණය වන ප්රධානම සිනමා කෘතිය මෙයයි. දැනටමත් ප්රේක්ෂකයින් අතර විශාල කතාබහක් ඇතිවී තිබෙන මෙම චිත්රපටය, ග්ලෙන් පවෙල් සහ රිචඩ් ලින්ක්ලේටර්ගේ සුසංයෝගය නිසා තවත් විශේෂත්වයක් ගන්නවා. ඉදිරියේදී මෙම චිත්රපටය පිළිබඳ වැඩි විස්තර සහ රූගත කිරීම් ආරම්භ වන දිනයන් ගැන දැනගන්නට ලැබෙනු ඇත.

Discussion & Feedback