ඉන්දියාවේ පෞද්ගලික අභ්යවකාශ සමාගමක් වන ‘ස්කයිරුට් ඒරොස්පේස්’ (Skyroot Aerospace) මේ දිනවල අභ්යවකාශ ක්ෂේත්රයේ ලොකුම කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ ඔවුන්ගේ ප්රථම කක්ෂීය රොකට්ටුව වන ‘වික්රම්-1’ අභ්යවකාශගත කිරීමට සූදානම් වීම නිසයි. ‘ආගමන්’ ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම සාර්ථක වුණොත්, ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් විසින් චන්ද්රිකාවක් කක්ෂගත කරන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙනවා. දැනටමත් ශ්රීහරිකෝටා හි සතිෂ් දවාන් අභ්යවකාශ මධ්යස්ථානයේ රොකට්ටුව ස්ථාපිත කරලා තියෙන අතර, ජූලි 12 සිට අගෝස්තු 4 දක්වා කාලය තුළ ඕනෑම මොහොතක මෙය අභ්යවකාශගත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මෙම රොකට්ටුව මගින් විවිධ පාරිභෝගික චන්ද්රිකා කිහිපයක් පෘථිවි පහළ කක්ෂයට රැගෙන යාමට නියමිතයි. විශේෂත්වය තමයි, විශාල රොකට්ටුවල ඉඩක් බලාගෙන ඉන්නවා වෙනුවට, තමන්ට අවශ්ය ඕනෑම කක්ෂයකට චන්ද්රිකා යවා ගැනීමට පාරිභෝගිකයන්ට මේ හරහා අවස්ථාව ලැබෙනවා. ස්කයිරුට් සමාගමේ ප්රධාන විධායක නිලධාරී පවන් කුමාර් චන්දනා කියන විදිහට, මේක හරියට දුම්රියක යනවා වෙනුවට තමන්ටම කියලා කුලී රථයක් (Cab) වෙන් කරගන්නවා වගේ වැඩක්. මේ මෙහෙයුම සාර්ථක වුණොත්, මසකට එක් රොකට්ටුවක් බැගින් අභ්යවකාශගත කිරීමේ ඉලක්කය කරා යන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා.
මීට පෙර 2022 වසරේදී ‘වික්රම්-එස්’ රොකට්ටුව සාර්ථකව අභ්යවකාශයට යැවීමට ඔවුන් සමත් වුණා. ඒ හරහා ලැබුණු අත්දැකීම් සහ තාක්ෂණික දත්ත 80%ක්ම මේ නවතම වික්රම්-1 රොකට්ටුව නිර්මාණය කරන්න යොදාගෙන තියෙනවා. මේ මෙහෙයුම තුළ චන්ද්රිකා වගේම, ඉන්දියාවේ අභ්යවකාශ පුරෝගාමීන් සිහිපත් කරන සංකේතාත්මක නිර්මාණ කිහිපයක්ද අභ්යවකාශයට රැගෙන යාමට නියමිතයි. මේ දියත් කිරීම ඉන්දීය අභ්යවකාශ තාක්ෂණයේ නව පරිච්ඡේදයක ආරම්භයක් වේවි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback