ජර්මනියේ බර්ලින් නගරයට ආසන්න වනාන්තරයක තිබී පසුගිය වසරේ සොයාගත් රහසිගත අවි ගබඩාවක් සම්බන්ධයෙන් මේ වන විට බරපතල විමර්ශනයක් ආරම්භ වෙලා තියෙනවා. ජර්මානු බුද්ධි අංශ සැක කරන්නේ මෙම අවි තොගය රුසියාවේ උවමනාව මත දේශපාලන ඝාතන සිදු කිරීම සඳහා සූදානම් කර තැබූ ඒවා බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජර්මනියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ඩ් පවසන්නේ, විදේශීය බලවේගවල සම්බන්ධයක් තිබිය හැකි බව බැහැර කළ නොහැකි බවයි. දැනට රුමේනියාවේ රඳවා සිටින සැකකරුවෙකු සම්බන්ධයෙන් ද ජර්මානු බලධාරීන් පරීක්ෂණ පවත්වන අතර, ඔහු රාජ්‍ය විරෝධී ප්රචණ්ඩ ක්‍රියා සැලසුම් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අවි ගබඩාව සොයා ගැනීමෙන් පසුව ජර්මානු ආරක්ෂක අංශ එය මාස ගණනාවක් පුරා රහසිගතව නිරීක්ෂණය කළත්, කිසිවෙකුත් එය අසලට පැමිණ නැහැ. කෙසේ වෙතත්, ජර්මනියේ ආරක්ෂක අංශ පවසන්නේ රුසියානු බුද්ධි අංශ ජර්මනියේ සිටින ආරක්ෂක කර්මාන්තයේ ප්‍රධානීන් සහ විපක්ෂ දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් ඝාතන සැලසුම් කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. මීට පෙරද රුසියාව සම්බන්ධ බවට සැක කෙරෙන මෙවැනිම සිදුවීම් කිහිපයක් ජර්මනියෙන් වාර්තා වී තිබුණා. විශේෂයෙන්ම ආයුධ නිෂ්පාදන සමාගමක ප්‍රධානියෙකු ඝාතනය කිරීමට රුසියාව සැලසුම් කළ බවට පැතිර ගිය වාර්තා ජර්මනිය තුළ දැඩි කතාබහකට ලක් වුණා. මේ වන විට ජර්මනිය තමන්ගේ ආරක්ෂක තත්ත්වය ඉතා ඉහළ මට්ටමක තබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

Discussion & Feedback