1970 වසරේදී ජර්මනියේ මියුනිච් නුවර පිහිටි යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයකට එල්ල කළ දරුණු ගිනි තැබීමේ ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 50කට අධික කාලයකට පසු තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම සිදුවීමෙන් හෝලෝකෝස්ට් සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 15 දෙනෙක් තුවාල ලැබුවා. එකල මෙය ජර්මනියේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදු කළ දරුණුතම ප්‍රහාරයක් ලෙසයි සැලකෙන්නේ. දීර්ඝ කාලයක් අභිරහසක්ව පැවති මෙම අපරාධය සිදු කළේ ‘බර්න්ඩ් වී’ නම් 25 හැවිරිදි නව-නාසිවාදී අදහස් දැරූ පුද්ගලයෙකු බවයි මේ වන විට විමර්ශනවලින් තහවුරු වී තිබෙන්නේ.
ප්‍රහාරය සිදු වූ දිනයේදී අසාර්ථක කොල්ලකෑමකින් කෝපයට පත් වූ සැකකරු, යුදෙව්වන්ට එරෙහිව වෛරී ප්‍රකාශ සිදු කරමින් මෙම ගිනි තැබීම සිදු කර තිබෙනවා. ඔහු හිට්ලර්ගේ කතා පටි පවා අසමින් නාසිවාදයට දැඩි ලෙස ඇලුම් කළ අයෙකු බවත්, ඔහු සතුව නාසිවාදී පිහියක් තිබූ බවත් සාක්ෂි මගින් හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සැකකරු 2020 වසරේදී මියගොස් ඇති නිසා ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නොහැකි වීම කනගාටුදායක කරුණක්. 1970 ගණන්වලදීම මොහු ගැන සැකයක් තිබුණත්, ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා එකල විමර්ශන අත්හැර දමා තිබුණා. වසර ගණනාවකට පසු ලැබුණු නව සාක්ෂි මත මෙම සිද්ධිය නැවත විවෘත කළත්, යුක්තිය ඉටු වීමට නම් බොහෝ ප්‍රමාද වී ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback