ජර්මනියේ පාලියටිව් කෙයාර් හෙවත් රෝගීන්ට සහන සලසන වෛද්‍යවරයෙක් තමන් ප්‍රතිකාර කළ රෝගීන් 15 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා තිබෙනවා. බර්ලින් අධිකරණයක් විසින් මෙම 41 හැවිරිදි වෛද්‍යවරයාට දඬුවම් නියම කළේ 2021 සැප්තැම්බර් සිට 2024 ජූලි දක්වා කාලය තුළ කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමින් 3 දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙනුයි. වයස අවුරුදු 25ත් 94ත් අතර වූ මෙම රෝගීන් බරපතල ලෙස රෝගාතුරව සිටියත්, ඔවුන්ගේ මරණය ආසන්නව තිබුණේ නැහැ. මෙම වෛද්‍යවරයා නිවෙස් වෙත ගොස් රෝගීන්ගේ කැමැත්තකින් තොරව මාරාන්තික ඖෂධ ලබා දී ඔවුන්ව ඝාතනය කර ඇති අතර, සාක්ෂි වසන් කිරීමට ඇතැම් අවස්ථාවලදී නිවෙස්වලට ගිනි තැබීමටත් උත්සාහ කර තිබෙනවා.
තමන් රෝගීන්ගේ දුක් වේදනා අවසන් කිරීමට උත්සාහ කළ බව පවසමින් ඔහු වරද පිළිගත්තත්, බලධාරීන් සැක කරන්නේ මෙය අයිස් කුට්ටියක මුදුන පමණක් බවයි. දැනටමත් තවත් රෝගීන් 76 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, ඒවා ඔප්පු වුවහොත් ජර්මානු ඉතිහාසයේ සිදුවූ විශාලතම මනුෂ්‍ය ඝාතන මාලාව මෙය වනු ඇති. වින්දිතයන්ගේ පවුල්වල අය පවසන්නේ තම ආදරණීයයන් තවදුරටත් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. අධිකරණය විසින් ඔහුට වෛද්‍ය වෘත්තියේ යෙදීම ජීවිතාන්තය දක්වා තහනම් කර ඇති අතර, සිරදඬුවම අවසානයේ ඔහුව වැළැක්වීමේ රැඳවුම් භාරයට ගැනීමටත් නියෝග කර තිබෙනවා.

Discussion & Feedback