ඉරාකයේදී යාසීඩි ජාතික දැරියන් දෙදෙනෙකු වහල් සේවයේ යොදවා අමානුෂික ලෙස සැලකූ ඉරාක ජාතික යුවළකට ජර්මනියේ මියුනිච් අධිකරණය විසින් දැඩි දඬුවම් නියම කර තිබෙනවා. මෙම යුවළ ඉස්ලාමීය රාජ්ය (IS) ත්රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති බවත්, ඔවුන් යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ ළමා අපචාර වැනි බරපතල චෝදනා යටතේ වරදකරුවන් කර ඇති බවත් සඳහන්. ඒ අනුව, සැමියා වන ට්වානා එච්.එස්. හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර, ඔහුගේ බිරිඳ වන ආසියා ආර්.ඒ. හට වසර නවයයි මාස හයක සිරදඬුවමක් හිමි වුණා.
මෙම යුවළ 2015 සහ 2017 අතර කාලයේදී මෝසුල් නුවරදී යාසීඩි දැරියන් දෙදෙනෙකු මිලදී ගෙන ඔවුන්ව වහල් සේවයේ යොදවා තිබෙනවා. එම දැරියන්ට අමානුෂික ලෙස පහරදීම, බලහත්කාරයෙන් වැඩ ගැනීම සහ ලිංගික අපයෝජනය කිරීම වැනි දරුණු අපරාධ සිදු කර ඇති බව අධිකරණයේදී අනාවරණය වුණා. විශේෂයෙන්ම බිරිඳ විසින් දැරියන්ට වධහිංසා පැමිණවීමට සහාය ලබා දී ඇති අතර, සැමියා විසින් දැරියන්ව ලිංගික අපයෝජනයට ලක් කර තිබෙනවා. ජර්මනියේ පවතින විශ්ව අධිකරණ බලය යටතේ මෙම නඩු විභාගය පවත්වා ඇති අතර, මෙය ලොව පුරා සිදුවන යුද අපරාධ සම්බන්ධයෙන් ජර්මනිය ගන්නා දැඩි පියවරක් ලෙස සැලකෙනවා. වින්දිත දැරියන්ගෙන් එක් අයෙකු තවමත් අතුරුදහන්ව සිටින බවත් වාර්තා වනවා.

Discussion & Feedback