ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළේ සේවය කළ සේවකයෙක් මැලේරියාව වැළඳීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ගුවන් යානයක් මගින් පැමිණි මදුරුවෙකු දෂ්ට කිරීම නිසා මේ සේවකයා ඇතුළු තවත් සේවකයින් හය දෙනෙකුට මැලේරියාව වැළඳී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. දැනට ඉතිරි රෝගීන් පස් දෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් ඉන්නවා. මේ සිදුවීමත් එක්ක ගුවන් තොටුපළ බලධාරීන් වහාම ක්‍රියාත්මක වෙලා මදුරුවන් අල්ලන උගුල් සවිකරලා තියෙනවා. ඒ වගේම අල්ලගන්නා මදුරුවන් පරීක්ෂණාගාරයකට යවලා ඔවුන් මොන වර්ගයේ මදුරුවන්ද සහ කොහේ ඉඳන්ද ආවේ කියලා හොයන්න කටයුතු කරමින් ඉන්නවා.
සාමාන්‍යයෙන් ජර්මනිය වගේ රටක මෙහෙම මැලේරියා රෝගීන් වාර්තා වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම රෝගීන් විදේශ සංචාරවල නිරත වෙලා නැති නිසා රෝගය හඳුනාගැනීම ප්‍රමාද වෙන්න පුළුවන් බවයි රොබට් කොච් ආයතනය පෙන්වා දෙන්නේ. රෝගය ඉක්මනින් හඳුනාගන්න බැරි වුණොත් එය ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා ගුවන් තොටුපළේ වැඩ කරන අනිත් සේවකයින්ටත් යම් රෝග ලක්ෂණයක් දැනෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න කියලා බලධාරීන් දැනුම් දීලා තියෙනවා. මැලේරියාව කියන්නේ මදුරුවන් හරහා බෝවෙන රෝගයක් වුණත්, පුද්ගලයින් අතර කෙලින්ම බෝවෙන්නේ නැහැ. කෙසේ වෙතත්, මේ සිදුවීම ජර්මනිය වැනි රටක මැලේරියා අවදානම පිළිබඳව ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා.

Discussion & Feedback