ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාගේ අතින් ලියැවුණු ඉතා දුර්ලභ සටහන් එකතුවක් මුම්බායි නුවර පැවති වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් මිලියන 1.69ක වාර්තාගත මුදලකට අලෙවි වී තිබෙනවා. ගාන්ධිතුමාගේ සමීපතමයෙකු වූ ආනන්ද් ටී. හින්ගෝරානි මහතාගේ පවුලේ අය විසින් පරම්පරා ගණනාවක් තිස්සේ ආරක්ෂා කරගෙන ආ මෙම සටහන්වල සත්‍යවාදී බව, අහිංසාවාදය සහ ආත්ම දමනය වැනි කරුණු පිළිබඳව 1944 සිට 1946 දක්වා කාලය තුළ ලියැවුණු පණිවිඩ 688ක් අන්තර්ගතයි. ඉන්දීය ඓතිහාසික ලේඛනයක් සඳහා වෙන්දේසියකදී ලැබුණු ඉහළම මිල මෙය බව සැෆ්රන්ආර්ට් වෙන්දේසි ආයතනය පවසනවා.
මෙම සටහන්වලින් දේශපාලන නායකයෙකුට එහා ගිය ගාන්ධිතුමාගේ ඉතා පෞද්ගලික පැතිකඩක් අපට දැකගන්න පුළුවන්. හින්ගෝරානි මහතාගේ බිරිඳගේ අභාවයෙන් පසු, ඔහුට සැනසීම සහ මගපෙන්වීම ලබා දෙමින් ගාන්ධිතුමා ලියූ මෙම පණිවිඩ පසුව ‘A Thought for the Day’ නමින් පොතක් ලෙසත් එළිදැක්වුණා. මෙම වෙන්දේසියේදී ගාන්ධිතුමාගේ අතේ ගෙන යා හැකි නූල් කටින යන්ත්‍රය සහ භගවත් ගීතාව පිළිබඳව ඔහු ලියූ සටහන් ඇතුළු තවත් වටිනා භාණ්ඩ රැසක් අලෙවි වුණා. කෙසේ වෙතත්, මෙම වටිනා එකතුව මිලදී ගත් පුද්ගලයා කවුරුන්දැයි මෙතෙක් හෙළි කර නොමැති අතර, එම භාණ්ඩ තවදුරටත් ඉන්දියාව තුළම පවතිනු ඇති බවටයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback