ලොව පුරා ඉමහත් ජනප්රියත්වයක් දිනාගත් ‘Miraculous: Tales of Ladybug & Cat Noir’ කාටූන් මාලාවේ රසිකයන්ට ඉතාමත් සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. මේ කතාමාලාවේ සම-නිර්මාතෘ ජෙරමි සැග් (Jeremy Zag) පවසන විදිහට, ඉදිරියේදී මේ ජනප්රිය නිර්මාණය සජීවී රූපවාහිනී කතාමාලාවක් (Live-action series) ලෙසින් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ප්රංශයේ පැවති විශේෂ උත්සවයකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මුල් කාටූන් මාලාවේ තිබෙන සුවිශේෂී ගුණාංග සහ ආකර්ෂණය කිසිසේත්ම වෙනස් නොවී මේ නව නිර්මාණයත් එළිදැක්වීමට ඔවුන් කටයුතු කරන බවයි. දැනටමත් ඒ සඳහා අවශ්ය නිෂ්පාදකවරුන් සහ පිටපත් රචකයන් කණ්ඩායම සූදානමින් ඉන්නවා.
මේ අතරතුර, ජෙරමි සැග්ගේ ‘Zag Entertainment’ ආයතනය තවත් අපූරු නිර්මාණයක් වන ‘Melody’ නම් සජීවීකරණ චිත්රපටය පිළිබඳවත් තොරතුරු හෙළි කරලා තියෙනවා. මේ චිත්රපටයට ප්රකට ගායිකා කේටි පෙරී (Katy Perry) සම්බන්ධ වෙලා ඉන්නවා වගේම, ඇය එහි ප්රධාන චරිතයකට පණ පොවනවා. චිත්රපටයේ ගීත නිර්මාණයට සහ කතාව ගොඩනැගීමටත් ඇය සෘජුවම දායක වෙනවා. ‘Beauty and the Beast’ චිත්රපටයේ අධ්යක්ෂක ගැරී ට්රවුස්ඩේල් සමඟ එක්ව නිර්මාණය වන මේ චිත්රපටය, තමන් ගැන විශ්වාසයක් නැති කුඩා දැරියක් ගැන කියවෙන හරිම ලස්සන කතාවක්. අනාගතයේදී මේ සියලු නිර්මාණ එකතු කරලා ‘Zag World’ නමින් දැවැන්ත විශ්වයක් ගොඩනැගීම තමයි ජෙරමිගේ එකම සිහිනය වෙලා තියෙන්නේ.

Discussion & Feedback