ප්‍රංශයේ නෝමන්ඩි ප්‍රදේශයේදී මගී දුම්රියක් පීලි පැනීම පිටුපස කඩාකප්පල්කාරී ක්‍රියාවක් තිබේද යන්න පිළිබඳව එරට බලධාරීන් මේ වන විට දැඩි පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. රූවන් සහ කාන් නගර අතර ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය පසුගිය සිකුරාදා රාත්‍රියේ පීලි පැනීමට ලක්වුණේ ක්ලියෝන් ප්‍රදේශය ආසන්නයේදීයි. සිද්ධිය වන අවස්ථාවේ දුම්රියේ මගීන් 186 දෙනෙකු ගමන් කරමින් සිටි අතර, දුම්රිය මාර්ගයේ තිබී හමුවූ යකඩ කැබැල්ලක් නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රූවන් නගරයේ නඩු පවරන්නා සඳහන් කළේ, මෙය හිතාමතා සිදුකළ දෙයක්ද යන්න තවමත් තහවුරු කරගෙන නැති බවයි.
මෙම අනතුරින් පුද්ගලයන් 44 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ඉන් 18 හැවිරිදි තරුණියක් බරපතළ තත්ත්වයෙන් පසුවුවත්, ඇයගේ ජීවිතයට මේ වන විට අනතුරක් නැති බවයි වෛද්‍යවරු පවසන්නේ. අනතුර සිදුවූ ආකාරය ගැන අත්දැකීම් විස්තර කළ මගීන් පවසන්නේ, හදිසියේම දුම්රිය ගැස්සී ගොස් විශාල ශබ්දයක් සමඟ වීදුරු කුඩු වී ගිය බවයි. සිද්ධිය සම්බන්ධයෙන් දුම්රියේ ‘බ්ලැක් බොක්ස්’ දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය පොලිස් භාරයට ගෙන ඇති අතර, දුම්රිය රියදුරු මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවද වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. මේ වන විට විශේෂඥ කණ්ඩායම් සහ ගිනි නිවන භටයන් විශාල පිරිසක් යොදවා සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

Discussion & Feedback