ප්‍රංශයේ පාර්ලිමේන්තුව විසින් මරණයට සහාය දීමේ අයිතිය ලබා දෙන නව පනත් කෙටුම්පතක් බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන තියෙනවා. වසර ගණනාවක් තිස්සේ පැවති දැඩි විවාද සහ මතභේද මැද, මන්ත්‍රීවරුන් 291ක් පනතට පක්ෂව ඡන්දය ලබා දුන් අතර, විරුද්ධව ඡන්ද 241ක් ලැබුණා. මෙම නීතිය යටතේ, සුව කළ නොහැකි දරුණු රෝගාබාධවලින් පෙළෙන සහ දැඩි මානසික හෝ ශාරීරික වේදනාවක් විඳින වැඩිහිටියන්ට, වෛද්‍ය අධීක්ෂණය යටතේ ජීවිතය අවසන් කිරීමට අවස්ථාව ලැබෙනවා. කෙසේ වෙතත්, රෝගියා තමන්ගේ කැමැත්ත පැහැදිලිව ප්‍රකාශ කළ යුතු අතර, වෛද්‍ය උපදෙස් සහ දින කිහිපයක සිතා බැලීමේ කාලයකින් පසුව පමණයි මෙම ක්‍රියාවලිය සිදු කළ හැකි වෙන්නේ.
මෙම පනත සම්බන්ධයෙන් ප්‍රංශ දේශපාලන ක්ෂේත්රයේ තවමත් විශාල ගැටුමක් තියෙනවා. විශේෂයෙන්ම කතෝලික පල්ලිය සහ වෛද්‍ය ක්ෂේත්රයේ සමහර පාර්ශ්ව මෙම තීරණයට දැඩි ලෙස විරුද්ධයි. ඔවුන් පවසන්නේ මෙය රෝගීන්ව සමාජයට බරක් ලෙස සැලකීමට මග පාදන බවයි. මේ නිසාම, අගමැති සෙබස්තියන් ලෙකෝර්නු මෙම පනතේ ඇතැම් කරුණු ව්‍යවස්ථාදායක සභාවේ සමාලෝචනයට යොමු කිරීමට තීරණය කර තිබෙනවා. නෙදර්ලන්තය සහ බෙල්ජියම වැනි රටවල් දැනටමත් මෙවැනි නීති ක්‍රියාත්මක කළත්, ප්‍රංශයේ මෙම පියවර තවමත් ඉතා සංවේදී මාතෘකාවක් වෙලා තියෙනවා. ජනමත විමසුම්වලට අනුව බහුතරයක් ප්‍රංශ ජනතාව මෙම අයිතිය ලබා දීමට කැමැත්ත පළ කර තිබුණත්, ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති විය හැකි අභියෝග තවමත් ඉතිරි වෙලා තියෙනවා.

Discussion & Feedback