ලොව පුරා අතිශය ජනප්රිය වූ ZZ Top රොක් සංගීත කණ්ඩායමේ බෙර වාදකයා ලෙස දශක හයකට ආසන්න කාලයක් කටයුතු කළ ෆ්රෑන්ක් බියර්ඩ් පසුගිය සඳුදා ජීවිතක්ෂයට පත් වුණා. මියයන විට ඔහු 77 වැනි වියේ පසු වූ අතර, ටෙක්සාස්හි රිච්මන්ඩ් හි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු අවසන් හුස්ම හෙළුවේ වෛද්ය ප්රතිකාර ලබමින් සිටියදීයි. පසුගිය මාර්තු මාසයේ සිටම සෞඛ්ය ගැටලු හේතුවෙන් ඔහුට සංගීත සංචාරවලින් ඉවත් වීමට සිදුවූ අතර, පසුව ඔහුගේ සෞඛ්ය තත්ත්වය අයහපත් වීම නිසා කණ්ඩායමේ ඉදිරි ප්රසංග කිහිපයක්ම අවලංගු කිරීමට සිදු වුණා.
1969 වසරේදී ආරම්භ වූ ZZ Top කණ්ඩායම ලොව පුරා රසිකයින් අතර ජනප්රිය වුණේ ඔවුන්ගේ සුවිශේෂී සංගීත රටාව සහ ‘La Grange’, ‘Tush’, ‘Sharp Dressed Man’ වැනි අමරණීය ගීත නිසයි. ඇමරිකාවේ පමණක් පිටපත් මිලියන 25කට වඩා අලෙවි කර ඇති ඔවුන්ගේ ඇල්බම අතර ‘Eliminator’ ඇල්බමය ඉතිහාසගත වන්නේ දියමන්ති තත්ත්වයට පත් වූ විශිෂ්ටතම නිර්මාණයක් ලෙසයි. 2021 වසරේදී කණ්ඩායමේ බේස් ගිටාර් වාදක ඩස්ටි හිල් මියගිය අතර, ෆ්රෑන්ක් බියර්ඩ්ගේ වියෝවත් සමඟ රොක් සංගීත ලෝකයේ තවත් යුගයක අවසානයක් සනිටුහන් වුණා. ඔහුගේ අභාවය ලොව පුරා සිටින මිලියන සංඛ්යාත රසිකයින්ට විශාල කම්පනයක් ගෙන දී තිබෙනවා.

Discussion & Feedback