2021 වසරේ නොවැම්බර් මාසයේදී එංගලන්ත ඇළ මාර්ගයේදී සිදුවූ දරුණුතම බෝට්ටු අනතුර සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකුට එරෙහිව පැරිස් නුවරදී නඩු විභාගයක් ආරම්භ වෙලා තියෙනවා. මෙම ඛේදවාචකයෙන් කාන්තාවන්, පිරිමින් සහ කුඩා දරුවන් ඇතුළු අවම වශයෙන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා. මොවුන් ගමන් ගත් කුඩා බෝට්ටුව මුහුද මැදදී කාන්දු වී ගිලී යාම නිසා මෙම අවාසනාවන්ත ඉරණම අත්ව තිබුණා. මෙම නඩුවේ චූදිතයන් බහුතරයක් ඇෆ්ගනිස්ථාන ජාතිකයන් වන අතර, ඔවුන්ට එරෙහිව නීතිවිරෝධී සංක්‍රමණික ජාවාරම් කිරීම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල කරලා තියෙනවා.
මෙම ජාවාරම්කරුවන් මුහුදු ගමනට නුසුදුසු, අධික බර පටවන ලද සහ ප්‍රමාණවත් ජීවිතාරක්ෂක කබා නොමැති බෝට්ටු භාවිත කරමින් අහිංසක මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බව නඩු විභාගයේදී අනාවරණය වුණා. මියගිය අය අතර ඉරාක කුර්දි ජාතිකයන් මෙන්ම සෝමාලියානු, ඉතියෝපියානු සහ ඊජිප්තු ජාතිකයන්ද සිටිනවා. මියගිය අය අතර අවුරුදු හතක් වයසැති කුඩා දරුවෙකුද සිටීම හද කම්පා කරවන සුළුයි. සැකකරුවන් බොහෝ දෙනෙක් තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, තවත් දෙදෙනෙකු තවමත් සැඟවී සිටින නිසා ඔවුන් නොමැතිව නඩු විභාගය පැවැත්වෙනවා.
මේ අතර, මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ බලධාරීන්ගේ සහන කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන්ද දැඩි විවේචන එල්ල වෙලා තියෙනවා. මුහුදේ අසරණ වූ පිරිස බේරා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රංශ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිවද වෙනම විමර්ශනයක් සිදුවෙනවා. ඉදිරි සති තුනක කාලය තුළ පැවැත්වෙන මෙම නඩු විභාගයෙන් පසුව මෙම අවාසනාවන්ත සිදුවීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback