මීට වසර හතරකට කලින් දකුණු කොරියාවේ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ ගුවන් යානයක සිටි නියමුවන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තිදෙනාට මේ වන විට විශාල ගෞරවයක් හිමිවෙලා තියෙනවා. 2022 වසරේ අගෝස්තු මාසයේදී දකුණු කොරියාවේ හ්වාසෙයොන් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී තමයි මේ සිදුවීම වාර්තා වුණේ. එදා ඒ ශ්‍රී ලාංකිකයන් තිදෙනා ධීවර යාත්‍රාවක වැඩ කරමින් සිටියදී තමයි ගින්නට හසුවූ ගුවන් යානයෙන් මුහුදට වැටුණු නියමුවන්ව දැකලා ඔවුන්ව බේරාගත්තේ. ඔවුන්ගේ මේ මානුෂීය ක්‍රියාව දකුණු කොරියානු රජයේ ඉහළම ඇගයීමට ලක්වෙලා තියෙනවා.
මේ සිදුවීමෙන් පස්සේ, එම ශ්‍රමිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකුට දකුණු කොරියාවේ දිගුකාලීනව රැඳී සිටීමට හැකි ‘E-7-4’ කාණ්ඩයේ නිපුණ ශ්‍රමික වීසා බලපත්‍ර ලබාදීමට එරට අධිකරණ අමාත්‍යාංශය පියවර අරන් තියෙනවා. මීට පෙර ඔවුන් එරට රැඳී සිටියේ තාවකාලික රැකියා වීසා බලපත්‍රයකින් වුණත්, දැන් ලැබුණු මේ නව වීසා ක්‍රමය නිසා ඔවුන්ට කිසිදු බාධාවකින් තොරව දිගු කාලයක් එරට රැඳී සිටීමට අවස්ථාව ලැබෙනවා. අනෙක් ශ්‍රමිකයා දැනටමත් ස්ථිර පදිංචිය ලබාගෙන අවසන්. දකුණු කොරියානු අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ, රටේ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් මෙවැනි සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදේශිකයන්ට ස්ථාවරව ජීවත් වීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවයි. පසුගිය මැයි මාසයේදීත් කොරියානු ගුවන් හමුදාපතිවරයා විසින් මේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂ ඇගයීම් ලිපියක් පිරිනමා තිබුණා.

Discussion & Feedback