ජපානයේ ටෝකියෝ නුවරට උතුරින් පිහිටි ෂින්-කනුමා දුම්රිය ස්ථානයේදී ඉතාමත් කණගාටුදායක පුවතක් වාර්තා වෙනවා. දුම්රිය මාර්ගයේ වල් පැලෑටි ඉවත් කරමින් සිටි සේවකයින් සිව්දෙනෙකු වේගයෙන් පැමිණි දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දේශීය වේලාවෙන් උදෑසන 10.46ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේදී දුම්රිය ස්ථානයට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට දැකගන්න ලැබුණේ සේවකයින් තිදෙනෙකු දුම්රියට යටවී සිටින ආකාරයයි. අනෙක් සේවකයා දුම්රිය වේදිකාව මත වැටී සිටියදී සොයාගෙන තිබෙනවා.
අනතුරට ලක්ව ඇත්තේ ජපානයේ වේගවත්ම දුම්රිය සේවාවන්ගෙන් එකක් වන ‘ලිමිටඩ් එක්ස්ප්‍රස්’ දුම්රියක්. දුම්රියේ ගමන් ගත් මගීන් පවසන විදිහට, දුම්රිය හදිසියේම නතර කිරීමට පෙර අමුතු ශබ්දයක් ඇසී තිබෙනවා. මේ සිදුවීම නිසා ටොබු නිකෝ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය බලධාරීන් පියවර ගත්තා. සාමාන්‍යයෙන් මෙවැනි වැඩබිම්වල දුම්රියක් එන බවට අනතුරු ඇඟවීමට වෙනම සේවකයෙකු යොදවා තිබුණත්, මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එවැනි ආරක්ෂක පියවරක් ගෙන තිබුණාද යන්න තවමත් පැහැදිලි නැහැ.
ජපානය කියන්නේ ලෝකයේම ඉතාමත් දියුණු දුම්රිය ජාලයක් තියෙන රටක්. ඒ නිසාම මෙවැනි මාරක දුම්රිය අනතුරු එරටින් වාර්තා වෙන්නේ ඉතාමත් කලාතුරකින්. මේ වන විට අදාළ බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Discussion & Feedback