ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළුවෙක් සහ ජනප්‍රිය ගායකයෙක් වන ජැරඩ් ලෙටෝට එරෙහිව කාන්තාවන් දස දෙනෙක් බරපතල ලිංගික අපචාර චෝදනා එල්ල කරලා තියෙනවා. මේ අතරින් කාන්තාවන් හතර දෙනෙක්ම පවසන්නේ තමන් යොවුන් වියේ පසුවන කාලයේදී ඔහු තමන්ට ලිංගික අතවර කළ බවයි. බීබීසී නාලිකාව විසින් නිර්මාණය කළ නවතම වාර්තා වැඩසටහනකදී මේ ගැන හෙළිදරව් කෙරුණු අතර, ඉන් එක් කාන්තාවක් පවසන්නේ වයස අවුරුදු 17දී තමන්ට ලිංගික අතවරයක් සිදුවූ බවයි. තවත් අයෙක් පවසන්නේ ඔහු තමන්ව ග්‍රහණයට හසුකරගෙන ලිංගික අතවර කිරීමට තර්ජනය කළ බවත්, වයස අවුරුදු 16දී ඔහු තමන්ට ලිංගික අසභ්‍ය දුරකථන ඇමතුම් ලබාදුන් බවත්ය.
මේ සිදුවීම් 2002 සහ 2016 අතර කාලයේදී සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ. ලෙටෝගේ සංගීත කණ්ඩායමේ සේවය කළ පිරිස් පවා පවසන්නේ ඔහු යොවුන් වියේ පසුවන ගැහැණු ළමයින්ව පසුපෙළ කාමරවලට කැඳවීම ගැන කාර්ය මණ්ඩලය පවා දැඩි අපහසුතාවයකට පත්වූ බවයි. මේ චෝදනා සම්බන්ධයෙන් බීබීසී ආයතනය ජැරඩ් ලෙටෝගෙන් කිහිප වතාවක්ම අදහස් විමසා සිටියත්, ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. දැනට 54 හැවිරිදි වියේ පසුවන ලෙටෝට එරෙහිව මීට පෙරත් සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ මාධ්‍ය හරහා චෝදනා එල්ල වී තිබුණත්, මෙවර ඉදිරිපත් වී ඇති සාක්ෂි සහ තොරතුරු ඉතාමත් බරපතලයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බීබීසී වාර්තා වැඩසටහන හරහා නරඹන්නන්ට දැකගන්න පුළුවන්.

Discussion & Feedback