ලංකාවේ හෘද රෝගීන් වෙනුවෙන් ඉතාමත් වැදගත් පියවරක් තබමින් රජයේ රෝහල් හතරකට අති නවීන කැත් ලැබ් (Cath Lab) හතරක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර අරගෙන තියෙනවා. රුපියල් බිලියන 1.2ක වියදමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා පවතින දිගු පොරොත්තු ලේඛනය අවම කරගන්න පුළුවන් වෙනවා. මේ සඳහා එක් ඒකකයකට රුපියල් මිලියන 300ක් වැය කරලා තියෙන අතර, මේවා ඉතාමත් දියුණු තාක්ෂණයෙන් යුත් Canon Alphenix Core+ Evolve Edition පද්ධති වෙනවා.
මේ වැඩපිළිවෙල යටතේ ජුනි 27 වැනිදා යාපනය ශික්ෂණ රෝහලටත්, ජුනි 30 වැනිදා කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහලටත්, ජූලි 2 වැනිදා කොළඹ ජාතික රෝහලට අති නවීන ඒකක දෙකක් ලෙස මේවා ස්ථාපිත කිරීමට නියමිතයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් රෝගීන්ට වඩාත් ආරක්ෂිත සහ ඉක්මන් ප්‍රතිකාර ලබාදීමට හැකියාව ලැබෙනවා.
විශේෂයෙන්ම මෙම නවීන තාක්ෂණය නිසා සංකීර්ණ හෘද සැත්කම් සඳහා ගතවන කාලය අඩු වෙනවා වගේම, රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවටත් මෙය ලොකු පිටුවහලක් වෙනවා. විවෘත හෘද සැත්කම් අවශ්‍යතාවය අවම කරමින්, ඉතාමත් නිවැරදිව රෝග විනිශ්චය කිරීමටත්, ප්‍රතිකාර කිරීමටත් මේ නව උපකරණ මගින් වෛද්‍යවරුන්ට පුළුවන් වෙනවා. මේ නිසා ඉදිරියේදී රජයේ රෝහල්වලින් හෘද රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback