ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ඇතුළු ප්‍රදේශ කිහිපයකට පාකිස්ථානය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. තලේබාන් පාලනය පවසන්නේ මෙම ප්‍රහාර ඉතාමත් අමානුෂික සහ සතුරු ක්‍රියාවක් බවයි. කන්දහාර්, පක්ටියා සහ ඛෝස්ට් යන පළාත් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ මධ්‍යම රාත්‍රියේ ඇසුණු දැවැන්ත පිපිරීම් හඬත් සමඟ මුළු ප්‍රදේශයම භීතියට පත් වූ බවයි. ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවගේ නිවාසවලට හානි සිදුවී ඇති අතර, කිසිදු හමුදා කඳවුරක් නොමැති ස්ථානවලට පවා ප්‍රහාර එල්ල වී ඇති බව ජනතාව චෝදනා කරනවා.
පාකිස්ථාන බලධාරීන් පවසන්නේ මෙම ප්‍රහාර තමන්ගේ හමුදා ඉලක්ක වෙත පමණක් සීමා වූ බවත්, තමන්ට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙය සිදු කළ බවත්ය. කෙසේ වෙතත්, තලේබාන් රජයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පවසන්නේ මෙම ක්‍රියාවට එරෙහිව සුදුසු ප්‍රතිචාරයක් ලබා දෙන බවයි. දෙරට අතර පවතින මෙම උණුසුම් තත්ත්වය නිසා දේශසීමා ආශ්‍රිතව ජීවත් වන ජනතාව දැඩි අවදානමකට ලක්වෙලා තියෙනවා. පසුගිය කාලය පුරාම දෙරට අතර මෙවැනි ගැටුම් නිතර වාර්තා වන අතර, එයින් වැඩිම පීඩාවක් විඳින්නේ අහිංසක සිවිල් ජනතාවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පෙන්වා දෙන්නේ මෙම දේශසීමා ගැටුම්වලින් සිවිල් වැසියන් විශාල පිරිසක් මියයන බවයි.

Discussion & Feedback