සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහසක් හේතුවෙන් සෞදි අරාබියේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසට එරෙහිව මරණ දඬුවම නියම වී ඇති බවට වාර්තා වීමත් සමඟ හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. මුලින් වසර පහක සිරදඬුවමක් නියම වී තිබූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මරණ දඬුවම ක්‍රියාත්මක වීමට යන බවට තොරතුරු ලැබුණත්, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය තවමත් ඒ පිළිබඳ නිල තහවුරු කිරීමක් සිදු කර නැහැ. කෙසේ වෙතත්, අලි සබ්රි මහතා පවසන්නේ සමාජ මාධ්‍ය සටහනක් වෙනුවෙන් මෙවැනි දරුණු දඬුවමක් ලබා දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
අදාළ තරුණයා එම සටහන පළ කර මිනිත්තු කිහිපයකින් එය ඉවත් කර වීඩියෝවක් මගින් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටීම විශේෂ කරුණක් බවත්, ඔහුට තම වරද නිවැරදි කරගෙන ජීවිතය ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලබා දිය යුතු බවත් අලි සබ්රි මහතා අවධාරණය කරනවා. ඉස්ලාමීය දහමේ එන දයාව සහ කරුණාව පිළිබඳ මූලධර්ම සිහිපත් කරමින් ඔහු සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අනෝජන් සිවරාසට සමාව ලබා දී ඔහුට නැවත සිය පවුල වෙත යාමට අවස්ථාව සලසා දෙන ලෙසයි. ශ්‍රී ලංකා රජය මැදිහත් වී මෙම තරුණයා වෙනුවෙන් කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික පියවරක් සහ නීතිමය සහායක් ලබා දෙන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback