ඉක්වදෝරයේ හිටපු ජනාධිපති ලෙනින් මොරේනෝට එරෙහිව එල්ල වී තිබුණු දූෂණ චෝදනා සම්බන්ධයෙන් එරට අධිකරණය විසින් වසර පහක සිරදඬුවමක් නියම කර තිබෙනවා. චීන රාජ්‍ය සමාගමක් වන සිනෝහයිඩ්‍රෝ (Sinohydro) ආයතනය සමඟ එක්ව කොකා කොඩෝ සින්ක්ලෙයාර් ජල විදුලි බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වී ඇති බවයි වාර්තා වෙන්නේ. මොරේනෝ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී මෙම අල්ලස් ජාවාරම සිදුව ඇති අතර, ව්‍යාපෘතියේ වටිනාකමෙන් සියයට හතරක් පමණ අල්ලස් ලෙස ලබාගෙන ඇති බවටයි නඩු විභාගයේදී අනාවරණය වුණේ. මෙම සිද්ධියට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 76.1ක පමණ මුදලක් අල්ලස් ලෙස හුවමාරු වී ඇති බව පැවසෙනවා.
73 හැවිරිදි වියේ පසුවන හිටපු ජනාධිපතිවරයා ශාරීරික ආබාධිත තත්ත්වයකින් පෙළෙන නිසා ඔහුට මෙම සිරදඬුවම නිවාස අඩස්සියේ සිට ගෙවීමට අවසර ලැබී තිබෙනවා. මීට අමතරව, ඔහුට නැවත කිසිදු දිනෙක රාජ්‍ය තනතුරක් දැරීම තහනම් කරමින් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නඩුවට ඔහුගේ බිරිඳ සහ දියණිය ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුද සම්බන්ධ වී ඇති අතර, ඔවුන්ට මාස 30ක සිරදඬුවම් නියම වී තිබෙනවා. එමෙන්ම, අයථා ලෙස ලබාගත් මුදල් මෙන් තුන් ගුණයක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා. ඉක්වදෝරයේ දූෂණ චෝදනා මත සිරදඬුවම් ලැබූ තුන්වන හිටපු ජනාධිපතිවරයා වන්නේද ලෙනින් මොරේනෝ වීම විශේෂත්වයක්.

Discussion & Feedback