කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 54 හැවිරිදි ඇන්ගෝලා ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වුණා. ඇය ඇන්ගෝලාවේ සිට ඉතියෝපියාවේ ඇඩිස් අබාබා හරහා කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ. ගුවන්තොටුපළට ගොඩ බැසීමෙන් පසුව ඇය රෝද පුටුවක ආධාරයෙන් ගමන් කිරීම රේගු නිලධාරීන්ගේ දැඩි සැකයට හේතු වී තිබෙනවා.
පසුව සිදු කළ පරීක්ෂණවලදී ඇය සතුව තිබූ කොකේන් පෙති 14ක් ස්වේච්ඡාවෙන්ම නිලධාරීන් වෙත භාර දී තිබෙනවා. මීට අමතරව තවත් මත්ද්‍රව්‍ය පෙති කිහිපයක් ඇය විසින් ගිල දමා ඇති බවට අනාවරණය වී ඇති අතර, ඒවා පිටතට ගැනීමේ කටයුතු සහ වැඩිදුර විමර්ශන මේ වන විට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සිදු කරමින් පවතිනවා. මෙවැනි ආකාරයෙන් විවිධ උපක්‍රම භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට උත්සාහ කරන ජාත්‍යන්තර ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට රේගු නිලධාරීන් නිරන්තරයෙන්ම සෝදිසියෙන් සිටින බවයි පෙනෙන්නට තිබෙන්නේ.

Discussion & Feedback