සාමාන්‍යයෙන් අපි හිතන්නේ සාහිත්‍ය සම්මාන ලැබෙන්නේ ලොකු ලොකු ලේඛකයන්ට විතරයි කියලනේ. හැබැයි චීනයේ ආහාර බෙදාහරින රයිඩර් කෙනෙක් වුණු 56 හැවිරිදි වැන්ග් ජිබින්ග් මේ මතය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. ඔහු තමන්ගේ දෛනික වැඩ අතරතුර ලැබෙන විවේකයේදී කඩදාසි කැබලිවල ලියපු කවි එකතුවක් වන ‘ලෝ ෆ්ලයිට්’ (Low Flight) කෘතිය වෙනුවෙන් චීනයේ ඉහළම සාහිත්‍ය සම්මානයක් වන ‘ලු ෂුන්’ සාහිත්‍ය සම්මානය දිනාගන්න සමත් වුණා. වසර ගණනාවක් තිස්සේ විවිධ දුෂ්කර රැකියාවල නිරත වෙමින් ජීවිතය ගැටගහගත්ත වැන්ග්, තමන්ගේ අත්දැකීම් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත්තේ හරිම ආසාවෙන්. අද වෙනකොට ඔහු චීනයේ වැඩ කරන පන්තියේ ජනතාවගේ හඬ ලෝකයටම ගෙන යන සුවිශේෂී චරිතයක් බවට පත්වෙලා තියෙනවා.
වැන්ග් කියන විදිහට මේ සම්මානය ලැබුණා කියලා ඔහු තමන්ගේ රැකියාව අතහරින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු තවමත් හරිම සතුටින් ආහාර බෙදාහැරීමේ සේවයේ නිරත වෙනවා. තමන්ගේ ජීවිතේ සරල බව රැකගන්න කැමති ඔහු, තමන්ගේ කවි හරහා සමාජයේ පීඩනය සහ සාමාන්‍ය මිනිස්සුන්ගේ අරගල ගැන ලස්සනට කතා කරනවා. “පියාපත් විහිදුවන හැමෝම උඩින්ම පියාඹන්න ඕනේ නැහැ, පහළින් පියාඹන එකත් පියාඹනවා තමයි” කියලා ඔහු ලියපු පේළියකින්ම ඔහුගේ ජීවිත දර්ශනය අපිට තේරුම් ගන්න පුළුවන්. මේ වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ නිර්මාණ අද චීනයේ සාහිත්‍ය ක්ෂේත්රයේ ලොකු පෙරළියක් කරමින් ඉන්නවා කිව්වොත් නිවැරදියි.

Discussion & Feedback