ශ්‍රී ලංකාවේ අහසේ පියාඹන ටැක්සි හෙවත් විදුලියෙන් ක්‍රියාත්මක වන ‘eVTOL’ ගුවන් යානා අත්හදා බැලීමේ වැඩසටහනක් ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර අරගෙන තියෙනවා. මේ සඳහා ‘EHang Intelligent’ සමාගම සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර, ඉදිරි මාස හතරක කාලය තුළ මෙරට තුළ පළමු වරට පාලිත පරිසරයක් යටතේ මෙම ගුවන් යානා අත්හදා බැලීමටයි ඔවුන් සැලසුම් කරලා තියෙන්නේ. සාමාන්‍ය ගුවන් යානා වගේ ධාවන පථ අවශ්‍ය නොවී සිරස් අතට ගුවන් ගත වෙන්න සහ ගොඩබෑමට හැකි වීම මේ තාක්ෂණයේ තියෙන විශේෂත්වයයි.
කෙසේ වෙතත්, මේ මාස හතරේ ඉලක්කය කියන්නේ රට පුරාම පියාඹන ටැක්සි සේවාවක් වහාම ආරම්භ කරනවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට, මේ තාක්ෂණය ශ්‍රී ලංකාවට කොතරම් දුරට සුදුසුද සහ එහි ආරක්ෂාව, තාක්ෂණික ගැටලු සහ මෙහෙයුම් කටයුතු කොහොමද කියන දේවල් අධ්‍යයනය කරන්න තමයි මේ ‘සෑන්ඩ්බොක්ස්’ (sandbox) ක්‍රමය යොදා ගන්නේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කැප්ටන් දමින්ද රඹුක්වැල්ල මහතා ඇතුළු නිලධාරීන් සහ EHang සමාගමේ නියෝජිතයන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ම පවත්වා තියෙනවා.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගන්න නම් අදාළ සියලුම තාක්ෂණික සහ ආරක්ෂක පරීක්ෂණ සාර්ථකව නිම කරන්න සිද්ධ වෙනවා. අනාගතයේදී ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්රයට නවීන තාක්ෂණය එකතු කරමින්, ගුවන් මගින් මගීන් ප්‍රවාහනය කිරීමේ හැකියාව ගැන මේ හරහා මූලික පියවර තබනවා. ඉදිරියේදී මේ පිළිබඳව තවත් තාක්ෂණික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ අහසේ පියාඹන ටැක්සි දැකගන්න ලැබෙන දවස වැඩි ඈතක නොවනු ඇති.

Discussion & Feedback