තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට ලිබියාවේ මිස්රාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි පෞද්ගලික ජෙට් යානයක් ගොඩබෑමේදී ධාවන පථයෙන් ඉවතට පැන ගිනි ගැනීමක් සිදුව තිබෙනවා. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ මගීන් කිසිවෙකුත් සිට නැති අතර, යානයේ කාර්ය මණ්ඩලයේ තිදෙනා කිසිදු තුවාලයකින් තොරව දිවි බේරා ගැනීමට සමත් වුණා. ගුවන් තොටුපළේ ගිනි නිවන ඒකක වහාම ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීමට පියවර ගත් අතර, මේ වන විට එම ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ලිබියාවේ ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙම අනතුරට ලක්වූ සෙස්නා සිටේෂන් ලැටිචියුඩ් (Cessna Citation Latitude) වර්ගයේ යානය තුර්කියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හම්ඩි අකින්ට අයත් එකක් බවයි වාර්තා වෙන්නේ. අක්ෆෙන් හෝල්ඩින්ග්ස් සමාගම විසින් මෙම යානය මෙහෙයවනු ලබන අතර, අනතුරට හේතුව සොයා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ගුවන් තොටුපළේ ආරක්ෂාව තහවුරු කර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා බලධාරීන් මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. මිස්රාටා ගුවන් තොටුපළ ලිබියාවේ ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයක් වන නිසා, මෙම අනතුර හේතුවෙන් ගුවන් ගමන් වාර ගණනාවකට බාධා එල්ල වී තිබෙනවා.

Discussion & Feedback