ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් අසලදී අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සෙනසුරාදා අලුයම 1.28ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූවන් වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත්, අනෙක් සිව්දෙනාගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන මට්ටමේ පවතින බවත් විශ්වවිද්‍යාල බලධාරීන් තහවුරු කරනවා. මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
සිදුවීමෙන් පසු විශ්වවිද්‍යාල පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තත්, මේ වන විට එම තත්ත්වය ලිහිල් කර තිබෙනවා. කෙසේ වෙතත්, තවමත් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂක කටයුතු සඳහා එම ස්ථානයේ රැඳී සිටිනවා. චෙස්ටර්ෆීල්ඩ් ප්‍රාන්ත පොලිසිය ප්රමුඛව පරීක්ෂණ කටයුතු සිදුවන අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. සිසුන් පන්දහසක් පමණ ඉගෙනුම ලබන මෙම විශ්වවිද්‍යාලයේ නව අධ්‍යයන වාරය සඳුදා ආරම්භ වීමට නියමිතව තිබියදී මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වීම කනගාටුදායකයි.
මෙම විශ්වවිද්‍යාලය ඇමරිකාවේ ඓතිහාසික වශයෙන් වැදගත් අධ්‍යාපන ආයතනයක් ලෙස සැලකෙනවා. පසුගිය සිකුරාදා සිසුන් නේවාසිකාගාර වෙත පැමිණීම ආරම්භ කර තිබූ අතර, මෙම වෙඩි තැබීම සිදුවන විටත් පරිශ්‍රය තුළ සිසුන් රැඳී සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු විය හැකියි.

Discussion & Feedback