ඉන්දියාවේ තීස්ටා ගඟ හරහා ගමන් කරමින් සිටියදී මවගෙන් වෙන්වී සැඩ පහරට හසුවූ දින 3-4ක් වයසැති අලි පැටවෙකු බේරාගැනීමට එරට ධීවරයින් පිරිසක් සමත් වුණා. ගඟේ ඉහළ ප්‍රදේශයේ සිට සැඩ පහරට හසුවී ගසාගෙන ආ මෙම අසරණ අලි පැටවා දුටු අජේ දාස්, රාජේෂ් දාස්, ගෝපාල් දාස්, මිටු දාස් සහ බිශ්වනාත් දාස් යන ධීවරයින් පිරිස තම ජීවිත පවා නොතකා වහාම ක්‍රියාත්මක වී පැටවාව ගොඩට ගැනීමට කටයුතු කළා. ඔවුන් ඉතාමත් ආදරයෙන් මෙම පැටවාව බේරාගෙන ගඟ මැද තිබූ දූපතකට රැගෙන ගිය ආකාරය ඇත්තටම හදවතට දැනෙන දසුනක්.
පසුව මේ පිළිබඳව දැනගත් වනාන්තර නිලධාරීන් වහාම එම ස්ථානයට පැමිණ අලි පැටවාගේ මව සොයා මෙහෙයුමක් ආරම්භ කළා. පැටවා නොනවත්වාම මව අමතමින් කෑගසන හඬ ඇසීමෙන් පසු, පැය දෙකකට ආසන්න කාලයක් වෙහෙසී අවසානයේ ගජෝල්ඩෝබා ප්‍රදේශයේදී මව සහ පැටවා නැවත එකතු කිරීමට ඔවුන්ට හැකි වුණා. මෙම සිදුවීම මේ වන විට සමාජ මාධ්‍ය තුළත් විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. මිනිස්කම සහ සතුන් කෙරෙහි දක්වන කරුණාව මොනතරම් වටිනවාද කියන එකට මෙය කදිම උදාහරණයක්. ඇත්තටම මේ ධීවරයින්ගේ ක්‍රියාව මුළු ලෝකයේම පැසසුමට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback