1994 වසරේ රුවන්ඩාවේ සිදුවූ දරුණු ජන සංහාරයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකුට එරෙහිව බ්‍රිතාන්‍යයේදී නීතිමය පියවර ගෙන තිබෙනවා. වින්සන්ට් බ්‍රවුන් නමැති 65 හැවිරිදි මෙම පුද්ගලයා උතුරු ලන්ඩනයේ පදිංචිව සිටි අයෙක්. මොහුට එරෙහිව ජන සංහාරයට අනුබල දීම සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙස සැලකෙන මිනීමැරුම් හයකට ආධාර අනුබල දීම යන චෝදනා එල්ල කර තිබෙනවා. බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ විමර්ශන අංශය වසර හතක් තිස්සේ සිදුකළ දීර්ඝ සහ සංකීර්ණ පරීක්ෂණයකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ ජාත්‍යන්තර අපරාධ සිදුකළ පුද්ගලයන්ට බ්‍රිතාන්‍යය කිසිසේත්ම ආරක්ෂිත ස්ථානයක් නොවන බවයි. 1994 වසරේ දින 100ක් පුරා පැවති මෙම ජන සංහාරයෙන් අහිංසක ජීවිත අට ලක්ෂයක් පමණ අහිමි වුණා. රුවන්ඩා රජයේ ඉල්ලීමක් මත 2019 වසරේදී ආරම්භ කළ මෙම පරීක්ෂණය මගින් සැකකරු අදාළ ප්‍රදේශයේදී ජන සංහාරය මෙහෙයවූ බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා. ඉදිරියේදී මොහුව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙවැනිම අපරාධවලට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳවද මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback