ඇන්ටාක්ටිකාවෙන් හමුවූ පළමු ඩයිනෝසෝර අස්ථිය වසර 40ක් තිස්සේ බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ ලාච්චුවක අමතක වී තිබී සොයාගෙන තියෙනවා. 1985 වසරේදී ජේම්ස් රොස් දූපතෙන් සොයාගත් මෙම පොසිලය, එකල එය කුමන සතෙකුට අයත්දැයි හඳුනා ගැනීමට නොහැකි වීම නිසා මෙලෙස ගබඩා කර තිබුණා. මෑතකදී එහි එකතු කිරීම් කළමනාකරු මාර්ක් එවන්ස් මහතාට මෙය නිරීක්ෂණය වූ අතර, පසුව සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වුණේ මෙය පෘථිවියේ ජීවත් වූ විශාලතම ඩයිනෝසෝර විශේෂයක් වන ‘ටයිටැනෝසෝර’ (Titanosaur) වර්ගයට අයත් වලිග අස්ථියක් බවයි.
මෙම ඩයිනෝසෝරයා මීට වසර මිලියන 82කට පෙර, එනම් අද මෙන් අයිස්වලින් වැසී නොතිබූ, සශ්‍රීක වනාන්තරවලින් පිරුණු ඇන්ටාක්ටිකාවේ ජීවත් වී තිබෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි මෙම සතා අඩි 23ක් පමණ දිගින් යුක්ත වූ අතර, එය තරුණ ඩයිනෝසෝරයෙකු හෝ කුඩා ප්‍රමාණයේ විශේෂයක් විය හැකියි. මෙම සොයාගැනීම මගින් අතීතයේ ඇන්ටාක්ටිකාව කෙතරම් ජීවීන්ට හිතකර පරිසරයක් වී තිබුණේද යන්න පිළිබඳව නව අවබෝධයක් ලැබෙනවා. අද වන විට ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ කිරීම අභියෝගාත්මක වුවත්, මෙම අස්ථිය මගින් එම මහාද්වීපයේ සැඟවුණු ඉතිහාසය පිළිබඳ වැදගත් සාක්ෂියක් ලෝකයට අනාවරණය කර තිබෙනවා.

Discussion & Feedback