හෝමාගම කටුවන කාර්මික කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවක පසුගිය අඟහරුවාදා උදෑසන ඇතිවූ දරුණු ගින්නෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව මේ වන විට වැඩිදුර තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. උදෑසන 9.45ට පමණ හදිසියේම හටගත් මෙම ගින්න තෙමහල් ගොඩනැගිල්ල පුරා ඉතා වේගයෙන් පැතිරී ගොස් තිබෙනවා. මුලින් වාර්තා වූයේ පුද්ගලයින් තිදෙනෙකු සිරවී සිටින බව වුවත්, පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මළ සිරුරු පහක් සොයා ගැනීමට ගිනි නිවන භටයින්ට හැකි වුණා. ඉන් තිදෙනෙකුගේ සිරුරු හඳුනාගත නොහැකි තරමටම දැවී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
ගින්න ඉතා දරුණු ලෙස පැතිරී තිබූ නිසා ගිනි නිවන භටයින්ට වහාම ගොඩනැගිල්ල තුළට ඇතුළු වීමට නොහැකි වූ බව කෝට්ටේ ගිනි නිවන ඒකකයේ ප්‍රධාන නිලධාරියා පවසනවා. කෙසේ වෙතත්, ගිනි නිවන රථ හයක් යොදවා පැය කිහිපයක උත්සාහයකින් පසු ගින්න පාලනය කිරීමට හැකි වුණා. මෙම සිදුවීමෙන් තුවාල ලැබූ කාන්තාවක් රෝහල්ගත කර ඇති අතර, ගින්නට හේතුව සොයා හෝමාගම පොලිසිය මේ වන විටත් පරීක්ෂණ පවත්වනවා.
මේ අතර, සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැදගත් කරුණක් පෙන්වා දුන්නා. හෝමාගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තිබුණත්, ඒ සඳහා කැපවූ ගිනි නිවන ඒකකයක් නොමැති වීම විශාල ගැටලුවක් බවයි ඔහු සඳහන් කළේ. දැනට මෙම ප්‍රදේශයේ ගිනි නිවන කටයුතු සඳහා දෙහිවල, හොරණ සහ කෝට්ටේ මහනගර සභාවල සහාය ලබා ගැනීමට සිදුවීම කණගාටුදායක තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Discussion & Feedback