බෙල්ජියමේ පිහිටි විශාලතම ස්වභාව රක්ෂිතය වන ‘හයි ෆෙන්ස්’ (High Fens) ප්‍රදේශයේ හටගෙන ඇති දරුණු ලැව්ගින්නක් හේතුවෙන් මේ වන විට දැඩි අවදානම් තත්ත්වයක් මතුවෙලා තියෙනවා. පසුගිය සිකුරාදා ආරම්භ වුණු මේ ගින්න බෙල්ජියමේ මෑත ඉතිහාසයේ වාර්තා වුණු දරුණුතම ගින්න ලෙසයි බලධාරීන් හඳුන්වන්නේ. ගින්න වේගයෙන් පැතිරීම නිසා ආසන්නයේ තිබෙන ගම්මාන දෙකක ජනතාවට වහාම ඉවත් වන ලෙස උපදෙස් ලබා දී තිබෙන අතර, ඔවුන් සඳහා තාවකාලික නවාතැන් පහසුකම් පවා සකස් කරලා තියෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා යුරෝපා සංගමයේ සහයෝගය ඇතිව ස්වීඩනය, චෙක් ජනරජය සහ නෙදර්ලන්තය වැනි රටවලින් ගුවන් යානා සහ හෙලිකොප්ටර් ගෙන්වා ගැනීමට බෙල්ජියම් බලධාරීන් කටයුතු කරලා තියෙනවා. කෙසේ වෙතත්, එම ප්‍රදේශයේ පවතින වගුරු බිම් සහ දුෂ්කර භූමි ප්‍රදේශ නිසා ගිනි නිවන භටයන්ට ගින්න මැඩපැවැත්වීම විශාල අභියෝගයක් වෙලා තියෙනවා. සුළඟේ දිශාව නිතරම වෙනස් වීමත් සමඟ ගින්න නිවීමේ කටයුතු තවදුරටත් අපහසු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව වැනි යුරෝපීය රටවල් කිහිපයකම මෙවැනි ලැව්ගිනි වාර්තා වී තිබෙනවා. මේ වසරේ යුරෝපය පුරා පැවති අධික උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි ස්වභාවික ආපදා බහුල වී ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. තවමත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීමට නොහැකි වී ඇති අතර, නිවාස ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලුම පියවර ගනිමින් සිටින බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback