පේරු රාජ්‍යයේ ලීමා අගනුවර පිහිටි නිවසක හටගත් දරුණු ගින්නකින් එකම පවුලේ සාමාජිකයන් දස දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. බදාදා අලුයම තුනට පමණ මෙම ගින්න හටගෙන තියෙන්නේ ලා වික්ටෝරියා ප්‍රදේශයේ පිහිටි නිවසකයි. මියගිය අය අතර වයස අවුරුදු තුනත් පහළොවත් අතර පසුවූ කුඩා දරුවන් පස් දෙනෙකුත්, අවුරුදු 29ත් 72ත් අතර පසුවූ වැඩිහිටියන් පස් දෙනෙකුත් සිටින බවයි පොලිසිය පවසන්නේ. ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ 17 දෙනෙකු සිට ඇති අතර, ඉන් හත් දෙනෙකුට පමණක් දිවි බේරා ගැනීමට හැකිවෙලා තියෙනවා.
මෙම ගින්න හිතාමතාම ඇති කළ එකක් බවටයි මේ වන විට සැක පළ වෙන්නේ. එම පවුලේ අය මෙට්ට නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඔවුන්ට මීට පෙරත් විවිධ පාර්ශවවලින් කප්පම් ඉල්ලා තර්ජන එල්ල වී තිබූ බව මාධ්‍ය වාර්තා කරනවා. නිවස අසල නවතා තිබූ විදුලි යතුරුපැදි කිහිපයකට පිරිසක් ගිනි තැබීම නිසා, නිවසේ තිබූ ගිනි ඇවිලෙන සුළු මෙට්ට නිෂ්පාදන ද්‍රව්‍ය හරහා ගින්න වේගයෙන් පැතිරී ගොස් ඇති බවයි අසල්වාසීන් පවසන්නේ. මේ වන විට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබෙනවා. මුළු රටම මේ මොහොතේ දැඩි ශෝකයකින් පසුවන බව පේරු ජාතික පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

Discussion & Feedback