බෙල්ජියමේ ඇන්ට්වර්ප් නුවර පිහිටි මහල් දහයකින් සමන්විත දැවැන්ත නිවාස සංකීර්ණයක හදිසියේ හටගත් ගින්නකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා කියන කනගාටුදායක පුවතක් වාර්තා වෙනවා. බදාදා උදෑසන දහයට පමණ මේ ගින්න හටගෙන තියෙන්නේ ගොඩනැගිල්ලේ පහළ මාලයේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් නිසයි. ගින්නත් එක්කම විශාල දුම් වළාකුළු අටවැනි මහල දක්වා පැතිරී ගිය නිසා එහි සිටි පදිංචිකරුවන්ට ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්න ලොකු අපහසුවක් ඇති වුණා. මේ සිද්ධියෙන් තවත් පිරිසක් බරපතල සහ සුළු තුවාල ලබා රෝහල්ගත කරලා තියෙනවා.
ගින්න පැතිරෙන අවස්ථාවේදී ගොඩනැගිල්ලේ සිටි පදිංචිකරුවන් බේරාගැනීම සඳහා ගිනි නිවන භටයින් දැඩි වෙහෙසක් ගත්තා. සමහර පදිංචිකරුවන් තමන්ගේ බැල්කනිවලට වෙලා උදව් ඉල්ලන අයුරුත්, තවත් අය අසල්වැසි නිවාසවල ජනේල හරහා පැනලා දිවි බේරාගන්නා අයුරුත් වීඩියෝ දර්ශනවලින් දැකගන්න පුළුවන් වුණා. මේ වන විට ගින්න පාලනය කරලා තියෙන අතර, ගිනි නිවන භටයින් නිවාසෙන් නිවාසට ගිහින් තවත් පිරිසක් ඉන්නවද කියලා පරීක්ෂා කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් බෙල්ජියම් අගමැතිවරයා ඇතුළු බලධාරීන් සිය ශෝකය පළ කරලා තියෙනවා වගේම, ෆ්ලෙමිෂ් පාර්ලිමේන්තුවත් මියගිය අය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවා පවත්වනු ලැබුවා.

Discussion & Feedback