මන්නාරමේ ඉදිකරගෙන යන මෙගාවොට් 50ක ධාරිතාවකින් යුත් ‘හේවින්ඩ්’ (HayWind) සුළං විදුලි බලාගාරයට අවශ්‍ය අවසන් ටර්බයින කට්ටලයත් මේ වන විට ත්‍රිකුණාමල වරායට ලැබිලා තියෙනවා. මේ ව්‍යාපෘතියේ පළමු ටර්බයින කට්ටලය මීට සති කිහිපයකට කලින් ලංකාවට ගෙනාවා වගේම, දැනටමත් ඒ ටර්බයින සවිකිරීමේ වැඩකටයුතු මන්නාරමේදී සිද්ධ වෙනවා. මේ ව්‍යාපෘතියේ විශේෂත්වය තමයි, මෙතෙක් ලංකාවේ සුළං විදුලි බලාගාරයකින් වාර්තා වුණු අඩුම විදුලි ඒකක මිලට, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 0.0465ක (රුපියල් 14.37ක් පමණ) මිලකට විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබීම.
මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණාට පස්සේ, පොසිල ඉන්ධන ආනයනය අඩු කරලා වාර්ෂිකව රුපියල් බිලියන 4.7ක විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 186,300කින් අඩු කරගන්නත් මේ හරහා හැකියාව ලැබෙනවා. 2030 වන විට රටේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්කය සහ 2050 වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ජාතික ඉලක්කය ජයගන්න මේ ව්‍යාපෘතිය ලොකු පිටුවහලක් වෙයි.
මේ වසරේ ජනවාරි මාසයේදී වැඩ ආරම්භ කරපු මේ බලාගාරය 2027 මාර්තු මාසය වන විට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 50ක විදුලි ධාරිතාවක් එකතු කරන්න නියමිතයි. මේ ටර්බයින සවිකිරීම සහ නඩත්තු කිරීමේ කටයුතු සිදු කරන්නේ හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons PLC) ආයතනය විසින් වන අතර, විදුලි පද්ධතියේ පාලනය සහ කළමනාකරණය බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පද්ධති ක්‍රියාකරු විසින් සිදු කරනු ලබනවා.

Discussion & Feedback