2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤය හමුවේ ප්‍රංශය ලැබූ පරාජයෙන් පසුව, ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දිදියේ ඩෙෂෑම්ප්ස් විනිසුරු තීරණ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. ඩලස් නුවරදී පැවති මෙම තරගයෙන් ස්පාඤ්ඤය 2-0ක් ලෙස ජයග්‍රහණය කළ අතර, තරගයේදී ලබාදුන් දඬුවම් පහරක් ඇතුළු තීරණ කිහිපයක්ම තරගයේ ගමන් මග වෙනස් කළ බවයි ඔහු පවසන්නේ. විනිසුරු අයිවන් බාර්ටන්ගේ නම කෙලින්ම සඳහන් නොකළත්, මෙවැනි තීරණාත්මක තරගයක් මෙහෙයවීමට ඔහුට සුදුසුකම් තිබේද යන්න ගැන ඩෙෂෑම්ප්ස් ප්‍රශ්න කරනවා. තමන් පරාජය වූ නිසා මෙසේ පවසනවා නොවන බවත්, තරගයේ සිදුවූ දේවල් දෙස නැවත බැලිය යුතු බවත් ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියා.
තරගයේ 22 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤයට හිමිවූ දඬුවම් පහර සහ ඉන්පසුව සිදුවූ තවත් සිදුවීම් කිහිපයක්ම ප්‍රංශයට අවාසිදායක වූ බව ඔහු පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, පරාජයට ප්‍රධානම හේතුව තමන්ගේ කණ්ඩායම අපේක්ෂිත මට්ටමේ දක්ෂතා නොදැක්වීම බවත්, ස්පාඤ්ඤ කණ්ඩායම තරගය ඉතා හොඳින් පාලනය කළ බවත් ඔහු පිළිගන්නවා. මෙම ලෝක කුසලානයෙන් පසු ප්‍රංශ කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමට නියමිත ඩෙෂෑම්ප්ස්, තම ක්‍රීඩකයින් මෙම පරාජය නිසා දැඩි කම්පනයකට පත්ව සිටින බවත් සඳහන් කළා. ප්‍රංශ කණ්ඩායම දැන් සූදානම් වන්නේ මියාමිහිදී පැවැත්වෙන තුන්වැනි ස්ථානය සඳහා වන තරගයට මුහුණ දීමටයි. 2012 වසරේ සිට ප්‍රංශ කණ්ඩායම මෙහෙයවූ ඩෙෂෑම්ප්ස්ගේ යුගය නිමාවෙමින් පවතින අතර, ඉදිරියේදී සිනෙඩින් සිඩාන් ප්‍රංශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාරගනු ඇති බවටයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback