මෙවර ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙක්සිකෝව සමඟ පැවති තරගයේදී රතු කාඩ්පතක් ලැබීම හේතුවෙන් එංගලන්ත ආරක්ෂක ක්‍රීඩක ජරෙල් ක්වාන්සාට තරග දෙකක තහනමක් පැනවීමට ෆිෆා විනය කමිටුව තීරණය කරලා තියෙනවා. මේ තීරණය නිසා ඔහුට ඉදිරියේදී පැවැත්වෙන නෝර්වේ සමඟ අර්ධ අවසන් පූර්ව තරගය මෙන්ම, එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් එම තරගයත් අහිමි වෙනවා. මෙක්සිකෝ ක්‍රීඩක ජේසුස් ගායාර්ඩෝ වෙත එල්ල කළ දැඩි ප්‍රහාරය හේතුවෙන් ෆිෆා විනය නීති සංග්‍රහයේ 14 වන වගන්තිය යටතේ මෙම දඬුවම ලබා දීලා තියෙන්නේ. මේ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමටත් එංගලන්ත කණ්ඩායමට අවස්ථාවක් නැහැ.
තරගයේ 54 වන මිනිත්තුවේදී වී.ඒ.ආර් (VAR) තාක්ෂණය හරහා පරීක්ෂා කිරීමෙන් පසුවයි ක්වාන්සාට පිටියෙන් ඉවත් වීමට සිදුවුණේ. බැලූ බැල්මට ඔහු පන්දුවට පහර දෙන ආකාරයක් පෙනුනත්, ඔහුගේ පාදයේ උල් සහිත සපත්තුව ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ කකුලේ වැදීම බරපතල වරදක් ලෙසයි විනිසුරුවන් තීරණය කළේ. මේ සිදුවීම සම්බන්ධයෙන් එංගලන්ත පාර්ශවය දැඩි කලකිරීමකින් ඉන්නේ. වී.ඒ.ආර් පරීක්ෂාවේදී සම්පූර්ණ දර්ශන පෙළ පෙන්වීමට වඩා, වැරැද්ද සිදුවූ මොහොතේ ස්ථාවර රූපයක් පමණක් පෙන්වීමෙන් විනිසුරුවරයා නොමග ගිය බව ඔවුන් චෝදනා කරනවා.
මේ තහනම නිසා එංගලන්ත පුහුණුකරු තෝමස් ටුචෙල්ට විශාල ගැටලුවකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දැනටමත් රීස් ජේම්ස් ආබාධයකට ලක්ව සිටින අතර, ජෙඩ් ස්පෙන්ස් ද ශාරීරික යෝග්‍යතා ගැටලුවලින් පසුවන නිසා එංගලන්ත කණ්ඩායමේ පසුපෙළ ආරක්ෂාව දුර්වල වීමේ අවදානමක් තියෙනවා. කෙසේ වෙතත්, ඉදිරි තරගවලදී මෙම හිඩැස පුරවා ගැනීමට පුහුණුකරු කෙසේ කටයුතු කරාවිද යන්න පිළිබඳව පාපන්දු ලෝලීන් දැඩි අවධානයෙන් ඉන්නවා.

Discussion & Feedback