ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) උප සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගෙන තියෙනවා. භූතානයේ පැවැත්වුණු දකුණු ආසියානු පාපන්දු විධායක කමිටු රැස්වීමේදී මේ තීරණය ගෙන තිබෙන්නේ ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය, මාලදිවයින, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන සාමාජික රටවල් හතේම පූර්ණ සහයෝගය ඔහුට හිමි කර දෙමින්. ජස්වර් උමර් මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත්වී වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇති මොහොතක ලැබුණු මේ ජාත්‍යන්තර පිළිගැනීම ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට ලොකු ශක්තියක් වෙනවා.
ඔහුගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු කණ්ඩායමේ ෆිෆා (FIFA) ශ්‍රේණිගත කිරීම්වල විශාල දියුණුවක් දකින්න ලැබෙනවා. මීට වසර 15කට පසුව ශ්‍රී ලංකාව 207 වැනි ස්ථානයේ සිට 187 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම විශේෂත්වයක්. ඒ වගේම දේශීය තරගාවලි ශක්තිමත් කිරීම, තරුණ හා බිම් මට්ටමේ පාපන්දු ක්‍රීඩාව නංවාලීම සහ පාලන ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් ඔහු විශාල කැපවීමක් කරනවා. දැනටමත් ෆිෆා සහ ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) කමිටු කිහිපයක සාමාජිකයෙක් විදිහට කටයුතු කරන උමර් මහතාට ලැබුණු මේ නව තනතුර, ශ්‍රී ලංකාවේ පාපන්දු අනාගතය වෙනුවෙන් තවත් දොරටු විවර කරනු ඇති බවයි ක්‍රීඩා ලෝලීන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback