හෝටල් සහ විවිධ උත්සව අවස්ථාවලදී ගීත වාදනය කිරීම සඳහා හඳුන්වා දුන් නව බලපත්‍ර ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරන එම සංගමය, බලපත්‍ර ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අත්හැර දමා නැති බවත්, කර්මාන්තයේ නියුතු පාර්ශ්වයන් සමඟ කළ සාකච්ඡාවලින් පසුව එහි ඇතැම් කොටස් සංශෝධනය කිරීමට පමණක් තීරණය කළ බවත් පවසනවා. විශේෂයෙන්ම උත්සව කළමනාකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ඩිස්ක් ජොකීවරුන්ගේ සංගමය සමඟ කළ සාකච්ඡාවලින් පසුව, ඇතැම් බලපත්‍ර ගාස්තු කාණ්ඩ ඉවත් කිරීමටත්, ක්‍රමවේදයේ වෙනස්කම් සිදු කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබෙනවා.
මෙම බලපත්‍ර ගාස්තු කිසිසේත්ම රජයේ බද්දක් හෝ රජය මගින් පනවන ලද අයකිරීමක් නොවන බවත්, එය නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ ප්‍රකාශන හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදුකරන ක්‍රියාවලියක් බවත් ඔවුන් අවධාරණය කරනවා. මෙම සංශෝධන සිදුකර තිබෙන්නේ කිසිදු පුද්ගලයෙකුගේ හෝ සමාජ මාධ්‍ය බලපෑමක් නිසා නොව, කර්මාන්තයේ ප්‍රායෝගික ගැටලු සලකා බැලීමෙන් අනතුරුවයි. ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) වැනි ජාත්‍යන්තර ආයතනවල උපදෙස් ද ලබා ගනිමින්, නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමින්ම, උත්සව සංවිධායකයන්ට සහ හෝටල් හිමියන්ට ගැටලුවක් නොවන ආකාරයේ සාධාරණ වැඩපිළිවෙළක් සකස් කිරීම තම අරමුණ බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. මේ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තර සහ සංශෝධිත ගාස්තු කාණ්ඩ ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Discussion & Feedback