ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දේශපාලනඥයන් පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කළ 35 හැවිරිදි ජෙසිකා බෝවි නමැති කාන්තාවක් එෆ්.බී.අයි (FBI) නිලධාරීන් විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. ඇය ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්‍රස්තවාදී සංවිධානයට පක්ෂපාතී බව ප්‍රකාශ කරමින්, එම සංවිධානයට සහය දැක්වීමේ චෝදනාව යටතේයි අත්අඩංගුවට පත්වුණේ. ඇය ප්‍රහාරය සඳහා ඉලක්ක කරගෙන තිබුණේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ අල්බනි නුවර පිහිටි රාජ්‍ය ගොඩනැගිල්ලයි. මේ සඳහා ඇය කිහිප වතාවක්ම එම ස්ථානය නිරීක්ෂණය කරමින් ඡායාරූප පවා ලබාගෙන තිබෙනවා.
මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ ඇය සම්බන්ධ කරගෙන තිබුණේ එෆ්.බී.අයි රහස් ඔත්තුකරුවන් වීමයි. ඔවුන් ඇයට ව්‍යාජ බෝම්බයක් සහ දෝෂ සහිත තුවක්කුවක් ලබා දී තිබුණා. බෝම්බ සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇය වෙළඳසැලකට ගිය අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගත් අතර, ඒ වන විටත් ඇය සතුව පිහි සහ ත්‍රස්තවාදී සංවිධානයකට පක්ෂපාතී බව සඳහන් ලිඛිත දිවුරුම් ප්‍රකාශයක් තිබී සොයාගෙන තියෙනවා. ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ඇමරිකාවට විරුද්ධ අදහස් ප්‍රචාරය කර ඇති බවත්, සැප්තැම්බර් 11 ප්‍රහාරය අගය කරමින් පෝස්ට් දමා ඇති බවත් විමර්ශනවලදී හෙළි වුණා. මේ වන විට ඇය බරපතල චෝදනා කිහිපයකට මුහුණ දී සිටින අතර, නිව්යෝර්ක් ආණ්ඩුකාරවරිය මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා.

Discussion & Feedback